
වියළි කලාපීය ප්‍රදේශවල කුඹුරු වලට ජලය හිඟ වීම හේතුවෙන් සිදුවූ වගා හානි වලට කඩිනමින් වන්දි ගෙවීම සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා විසින් අද (06) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
මොණරාගල, පොළොන්නරුව, අනුරාධපුර ආදී දිස්ත්‍රික් වල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගාවන්ට හානි සිදුවී ඇති බව වාර්තා වී ඇති බව පවසන ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒ අනුව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි නිලධාරීන් හානියට පත් කුඹුරු ඉඩම් වලට ගොස් හානි පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පවසයි.
මේ අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කේ.ඩී. ලාල් කාන්ත මහතා ද මෙම තත්ත්වය යටතේ හානියට පත් වූ කුඹුරු බිම් සඳහා වන්දි ගෙවීම කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව පවසයි.
මෙහිදී ජලය හිඟවීමට ලක්වී ඇති වී වගාවන් හානියට පත්ව ඇත්නම්, හැකි ඉක්මනින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහතුන් හෝ කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලයේ සංවර්ධන/ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම හානිය දැනුම් දීම කළ යුතුව බව අවධාරණය කරන ගොවිජන රක්ෂණ මණ්ඩලය එසේ නොමැති නම් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ පොතෙහි ඔබගේ වගා හානිය සටහන් කිරීමට හැකියාව පවතින බව ද සිය නිවේදනයේ සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීම මගින් ගොවි මහතුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතී.

