
දකුණු කොරියානු ජනරජයේ ග්‍රාමීය සංවර්ධන පරිපාලන අධිකාරිය (RDA) සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරනු ලබන කොරියානු ජාත්‍යන්තර කෘෂිකාර්මික ව්‍යාපෘතියට (KOPIA – Korea Program on International Agriculture වසර 15ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සංවත්සර සම්මන්ත්‍රණය පසුගිය දා (04) ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම සම්මන්ත්‍රණය “කොපියා (KOPIA) ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය අත්පත් කරගත් ජයග්‍රහණ හා ඉදිරි වැඩපිළිවෙළ” යන තේමාව යටතේ සංවිධානය කර තිබිණි.

2011 වසරේදී අවබෝධතා ගිවිසුමකට එළඹෙමින් ආරම්භ වූ KOPIA ශ්‍රී ලංකා ව්‍යාපෘතිය, ගතවූ වසර 15 තුළ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.45කට අධික ආයෝජනයක් සිදුකරමින් ජාතික මට්ටමේ ව්‍යාපෘති 17ක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.
විශේෂයෙන්ම, දේශීය ලොකු ළූණු සහ මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම, බතලගොඩ වී පර්යේෂණ ආයතනය සහ අනුරාධපුර මහඉලුප්පල්ලම, හොරණ පලතුරු පර්යේෂණ ආයතන සමඟ එක්ව නව බෝග ප්‍රභේද හඳුන්වා දීම. (MBMI-7 මුං ඇට, මාකඳුර සුදු බිම්මල්, MICH 1 හා MICH 2 මිරිස් ප්‍රභේද), දේශීය බීජ නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා ආදර්ශ ගම්මාන (Model Villages) 7ක් ස්ථාපිත කිරීම, නවීන කොරියානු කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍ර හා පාලිත පරිසර වගා තාක්ෂණය(Polytunnels සහ Rain Covers) මෙරට ගොවීන්ට හඳුන්වා දීම KOPIA හරහා සිදුවූ කැපී පෙනෙන ජයග්‍රහණ අතර වේ.

ඊට අමතරව, මානව සම්පත් සංවර්ධන වැඩසටහන් යටතේ ශ්‍රී ලාංකික පර්යේෂකයන් හා නිලධාරීන් 194 දෙනෙකුට කොරියාවේදී නූතන කෘෂි තාක්ෂණික පුහුණුව ලබා දී ඇති අතර, ගොවීන් 25 දෙනෙකුට කොරියාවේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා සඳහා අවස්ථාව සලසා දී ඇත.
මෙම සංවත්සර සම්මන්ත්‍රණ අවස්ථාවට කොරියානු ජාතික උද්‍යාන විද්‍යා හා ඖෂධීය ශාක විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය කිම් දේ-හ්‍යුන් (Dr. Kim Dae Hyun), KOPIA ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය පාක් ප්යුං-සික් (Dr. Park Pyung-Sik) යන මහත්වරුන් ඇතුළු දකුණු කොරියානු ජනරජයේ ග්‍රාමීය සංවර්ධන පරිපාලන අධිකාරියේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

KOPIA ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම් සහකරු වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි, අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය, අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ආචාර්ය ජේ.ඒ. සුමිත් යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

