දුම්බර හරිත සවිය ව්‍යාපෘතියෙන් ගෙවතු වගා ගොවීන්ට අතහිත – මිලියන 1.8ක ප්‍රතිලාභ ගොවීන් අතට

වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “දුම්බර හරිත සවිය” ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ගෙවතු වගා වැඩසටහනට සාර්ථක දායකත්වයක් ලබාදුන් ගොවි ජනතාව දිරිමත් කිරීම සහ ඔවුන්ගේ කැපවීම ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ (12) කවටයාමුණ විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩසටහනේදී සාර්ථක ලෙස ගෙවතු වගා කටයුතු පවත්වාගෙන යමින් ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට දායක වූ ප්‍රාදේශීය ගොවීන් 35 දෙනෙකු වෙත මූල්‍ය ප්‍රතිලාභ ලබාදීම නිල වශයෙන් සිදු කෙරිණි. ඒ අනුව, ප්‍රතිලාභී ගොවීන් සඳහා රුපියල් මිලියන 1.8ක සමස්ත වටිනාකමකින් යුත් මූල්‍ය ප්‍රතිලාභ චෙක්පත් බෙදාදෙනු ලැබීය.

ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් අංක 1.2.2 යටතේ සංවිධානය කළ මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ නකල්ස් ස්වාභාවික පරිසර පද්ධතියේ සංරක්ෂණය තහවුරු කරමින්, එම කලාපය ආශ්‍රිතව ජීවත්වන ගොවි ජනතාවගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීමයි. ඒ සමඟම තිරසාර කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම ප්‍රවර්ධනය කිරීම, දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සහ පරිසර හිතකාමී කෘෂිකාර්මික භාවිතයන් වෙත ප්‍රජාව යොමු කිරීම ද මෙම වැඩසටහන හරහා අපේක්ෂා කෙරේ.

ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, නකල්ස් සංරක්ෂිත කලාපයට ආසන්න ගම්මානවල තිරසාර හා පරිසර හිතකාමී කෘෂිකාර්මික පද්ධතියක් ස්ථාපිත කිරීම මෙන්ම, ගොවි ජනතාවට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වේ.

විශේෂයෙන්ම, ගෙවතු වගාව හරහා පවුල් මට්ටමේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමත්, අතිරික්ත නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කිරීම තුළින් අමතර ආදායම් මාර්ග නිර්මාණය කිරීමත් සඳහා මෙවැනි වැඩසටහන් වැදගත් දායකත්වයක් සපයයි. එමඟින් සංරක්ෂණය සහ ප්‍රජා ජීවනෝපාය සංවර්ධනය එකිනෙකට සම්බන්ධ කරමින් දිගුකාලීන තිරසාර සංවර්ධනයක් කරා ප්‍රදේශීය ප්‍රජාව මෙහෙයවීම අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා නකල්ස් ව්‍යාපෘතිය නියෝජනය කරමින් ව්‍යාපෘති කළමනාකරු සහ නාවුල කලාප කළමනාකරු ඇතුළු ව්‍යාපෘති නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. රාජ්‍ය පාර්ශ්වය නියෝජනය කරමින් පළාපත්වල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරීවරයා මෙන්ම, ව්‍යාපෘතිය සමඟ සෘජුව කටයුතු කරන කවටයාමුණ, දොඹවෙල, ගොලැහැන්වත්ත සහ ඊරියගොල්ල යන වසම් හතරට අයත් කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ නිලධාරීන් ද එක්ව සිටියහ.

එමෙන්ම, ව්‍යාපෘතියේ සැබෑ කොටස්කරුවන් වන ප්‍රාදේශීය ප්‍රතිලාභී ප්‍රජාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. තම ගෙවතු වගා කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ලැබුණු මූල්‍ය සහාය, තාක්ෂණික මඟපෙන්වීම සහ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ඔවුහු නකල්ස් ව්‍යාපෘතියට මෙන්ම අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත සිය ස්තූතිය හා ප්‍රසාදය පළ කළහ.

සටහන – ඊ.එස්. අනුත්තරා, මාධ්‍ය නිලධාරි, මහවැලි උපදේශන කාර්යාංශය

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *