
මෙවර යල කන්නයේදී මහවැලි ‘සී’ කලාපයේ වී ගොවීන් විසින් වාර්තාගත කීරි සම්බා වී අස්වැන්නක් නෙළා ගැනීමට සමත්ව ඇති බව සිදුකරන ලද විශේෂ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
අමාත්‍යවරයාට අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට වී අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, “පුනරුදයට අරුණළු” ජාතික වැඩසටහනට සමගාමීව අඩු වියදමකින් අස්වනු ඉහළ නැංවීමේ අරමුණින් “යාය 500” වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ වී ගොවීන් 250 දෙනෙකු තෝරා ගෙන තිබේ.
සමීක්ෂණ දත්තයන්ට අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ එක් ගොවියෙකුට දළ වශයෙන් හෙක්ටයාරයකට වී කිලෝග්‍රෑම් 11,350ක වැනි ඉතා ඉහළ වී අස්වැන්නක් නෙළා ගැනීමට හැකි වීම කැපී පෙනෙන සංවර්ධනයකි.
මෙම සාර්ථකත්වය උදෙසා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් දිරි දීමනාවක් ලෙස ලබා දී ඇති අතර, ප්‍රධාන තාක්ෂණික කරුණු 10ක් ඔස්සේ ගොවීන් දැනුවත් කරමින් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට අවශ්‍ය මගපෙන්වීම් ලබා දී ඇත.
මෙවර යල කන්නය ආරම්භයේදීම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ උපදෙස් හා මග පෙන්වීම් මත ගොවි ජනතාව අනුගමනය කළ පහත සඳහන් කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේද මෙවැනි වාර්තාගත අස්වැන්නක් ලබාගැනීමට ප්‍රධාන ලෙස හේතු වූ බව වී ගොවීහූ පවසති.
- ගැඹුරට සීසෑම
- පසේ සාරවත් බව සහ මුල් පද්ධතියේ වර්ධනය වැඩිදියුණු කිරීම.
- ලියැදි විශාල කිරීම
- වගා බිම් උපරිම ලෙස සහ කාර්යක්ෂමව භාවිතයට ගැනීම.
- කාබනික පොහොර යෙදීම
- පසේ සාරවත් බව ආරක්ෂා කරමින් ශාක වර්ධනය උත්තේජනය කිරීම.
අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකි වීම තුළින් ගොවි ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමට මෙන්ම ජාතික සහල් නිෂ්පාදනයට ද මෙමඟින් ලැබී ඇත්තේ මහත් පිටුවහලක් බව ද මෙම ගොවීන් වෙත සිය ස්තුතිය පළ කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේය.

