විදේශ වෙළෙඳපොළ සමඟ කටයුතු කළ හැකි නව ව්‍යවසායක පරම්පරාවක් රටට අවශ්‍යයි – කෘෂිකර්ම ආමත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

වර්තමානයේ විදේශ වෙළෙඳපොළ සමඟ තරගකාරීව කටයුතු කළ හැකි නව කෘෂි ව්‍යවසායක පරම්පරාවක් බිහි කිරීම අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අප රටේ ව්‍යවසායකයන් අතරින් වැඩි දෙනෙක් දේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කටයුතු කරන බැවින් තරුණ පරම්පරාව අතරමැදියන්ගෙන් තොරව සෘජුවම විදේශ වෙළෙඳපොළ සමඟ කටයුතු කිරීමට උනන්දු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ලාල්කාන්ත අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් “අපනයන කෘෂිමහිම” ජාතික වැඩසටහනට සමගාමීව සංවිධානය කළ “ Sri Lankan Spice Expo – 2026 ” ප්‍රදර්ශනය හා වැඩමුළුව අමතමිනි. මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පසුගිය 16 වන දින එය පැවැත්විණ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ දැනට ක්‍රියාත්මක අපනයන කෘෂිමහිම වැඩසටහන මගින් කුළුබඩු ක්ෂේත්‍රයේ පවත්නා බොහෝ ගැටළුවලට ඉදිරියේදී විසඳුම් ලැබෙන බවයි. එසේම මෙම වගාවන් සමඟ සම්බන්ධ වී සිටින ගොවි ජනතාවටද මීට වඩා ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

අපනයන කෘෂි මහිම පොකුරු ගම්මාන වැඩසටහන තුළින් එක් ගම්මානයකට ප්‍රධාන බෝග දෙකක් සඳහා ප්‍රමුඛතාවය ලබාදී සංවර්ධනය කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී කුළුබඩු කර්මාන්තයේ නියැලීමට අපේක්ෂිත ව්‍යවසායකයන්ට අවශ්‍ය නිෂ්පාදන මෙම ගම්මානවලින් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව පවතී. දැනට කුළුබඩු ක්ෂේත්‍රයේ පවතින ගැටළුවලට විසඳුම් සෙවීමත්, අපනයන වෙළෙඳපොළට ව්‍යවසායකයන් සම්බන්ධ කිරීමත් තුළින් මෙම කුළුබඩු ක්ෂේත්‍රයේ නියැලෙන පිරිසට මීට වඩා ඉහළ ප්‍රතිලාභ රැසක් ඉදිරියේදී ලබාගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දක්වමින් අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය සඳහන් කළේ මෙය හුදෙක් සාම්ප්‍රදායික කුළුබඩු ප්‍රදර්ශනයක් පමණක් නොවන බවයි. අපනයන කෘෂි බෝග හෙවත් කුළුබඩු කර්මාන්තය තුළින් විශාල ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැකි වුවත් එහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ රටේ ජනතාව සතුව පවතින්නේ අඩු දැනුමක් බවත් ඇය පැවසුවාය.

කුළුබඩු බෝගයක් යනු රටට ඩොලර් ගෙන එන සම්පතක් බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව යමින් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවිය යුතු බවත් ප්‍රකාශ කළාය. කුළුබඩු වගා කරන ගොවි ජනතාව සාම්ප්‍රදායික වගාවෙන් ඔබ්බට යමින් ව්‍යවසායකත්වය තුළින් සිය ආර්ථික මංපෙත් පුළුල් කර ගත යුතු බවද ඇය සඳහන් කළාය. මෙම “ Sri Lankan Spice Expo – 2026 ” ප්‍රදර්ශනය ඒ සඳහා කදිම තෝතැන්නක් වන බවද දමයන්ති සමරසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු, ව්‍යාපාරික ප්‍රජාව සහ කුළුබඩු ක්ෂේත්‍රයේ නියැලි ගොවි ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

සටහන – දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු, මාධ්‍ය හා සන්නිවේදන අංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *