ආහාර නිෂ්පාදන හා අලෙවි ව්‍යාපාර උදෙසා සුරක්ෂිතතා කළමනාකරණය

ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම උදෙසා  තීරණයක් ගැනීම සහ ඔබේම නිෂ්පාදන වට්ටෝරු සැලසුම් කිරීම සිත්ගන්නාසුළු විය හැකිය. එසේ වුවත් එම ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඔබ සපුරාගත යුතු අවශ්‍යතා පිළිබදව පූර්ව අවබෝධයක් ලබා තිබීම ඔබට වඩාත් වාසිදායක වේ. විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක සිට අවන්හලක්  දක්වා වූ ඒ හා සම්බන්ධ ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර නීත්‍යානුකූලව අනුගමනය කළ යුතු පියවර කිහිපයකි.

ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් ඇරඹීමට සුදුසු ස්ථානයක් මෙන්ම අනෙකුත් පොදු යටිතල පහසුකම් තිබුණද ඔබ ගත යුතු පළමු පියවර වන්නේ ඒ උදෙසා ඔබේ පළාත්පාලන ආයතනය වෙතින් නිසි ව්‍යාපාරික බලපත්‍රයක් ලබා ගැනීමයි. මක්නිසාදයත් මෙරට තුල යම්කිසි පරිශ්‍රයක විකිණීම සදහා හෝ විකිණීමට ඉදිරිපත්කිරීම උදෙසා හෝ යම් ආහාරයක් නිෂ්පාදනය කරන, සකස්කරන, පරිරක්ෂණය කරන, ඇසුරුම් කරන හා  ගබඩාකරන සැම ස්ථානයක්ම  ලියාපදිංචිකිරීම 1980 අංක 26 දරණ පනත යටතේ අනිවාර්යකර ඇති හෙයිනි. එම රෙගුලාසි සැලසුම්කර ඇත්තේ ආහාර මගින් ඇතිවිය හැකි රෝගාබාධ වලින් පාරිබෝගිකයා ආරක්ෂා කිරීම උදෙසා වන අතර එවැනි නිෂ්පාදන ව්‍යාපාර නිසි ක්‍රමවේදයන් යටතේ පවත්වාගෙන යාමට මාර්ගෝපදේශයක්  වශයෙනි. ඔබේ ව්‍යාපාරය හා එය පිහිටි ස්ථානය අනුව මෙම බලපත්‍ර  ලබා ගැනීමට සපුරාගත යුතු අවශ්‍යතා වෙනස්විය හැක. එහෙත් ඔබ අනුගමනය කළයුතු සරල රීතිය වන්නේ ඒ පිළිබදව නිසි බලධාරීන් වෙත දැනුම්දීම හා ඒ උදෙසා අනුමැතිය ලබා ගැනීමයි.

ඒ අනුව මෙරට තුළ ආරම්භකර පවත්වාගෙන යන හෝටල හෝ රිසෝට්, කේටරින් ආයතන, ආපනශාලා හා බොජුන්හල්, අයිස්ක්‍රීම්, රසකැවිලි, යෝගට්, මුදවාපු කිරි, අතුරුපස නිෂ්පාදනය කරන ගෘහ කර්මාන්ත, තේ, කෝපි හා ක්ෂණික පාන වර්ග, අයිස්ක්‍රීම් ආදිය සපයන කඩ, බේකරි, කැන්ටින්, සුපිරි වෙළදසැල්, ආහාර ගබඩා හා අයිස් නිෂ්පාදන පරිශ්‍ර යන සෑම ව්‍යාපාරයක් සඳහාම එකී පනත යටතේ වූ රෙගුලාසි බලාත්මකවේ. තනි පුද්ගල ව්‍යාපාර මෙන්ම හවුල් ව්‍යාපාරයක් වුවද එහි ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම උදෙසා පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා වෙතින් ඉල්ලුම් කළ යුතුවේ. මෙය අදාළ  ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉටුකරගත හැක.  එසේම ඊට අදාලවූ නිසි බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරියා වෙත ඔබගේ ව්‍යාපාරයට අදාල සියළුම තොරතුරු ලිඛිතව සැපයීමට කටයුතු කළ යුතුවේ. ඒ අනුව ඔබේ ව්‍යාපාර වර්ගීකරණය, නිෂ්පාදනය කරන්නේ කුමන වර්ගයේ ආහාර ද, අමුද්‍රව්‍ය ලැබෙන්නේ කවුරුන්ගෙන්ද, නිෂ්පාදනය කරන හෝ සකසන ආහාර ද්‍රව්‍ය පූර්ව වශයෙන් ඇසුරුම්කර තිබේද නැද්ද යන්න සහ කාර්ය මණ්ඩලය පිළිබඳව බොහෝ තොරතුරු ඔබට සැපයීමට සිදුවනු ඇත.

අනතුරුව ඔබේ ආයතන පරිශ්‍රය හා ව්‍යාපාරය උදෙසා අදාල බලපත්‍රය ලබාගැනීමට සහ ලියාපදිංචිය සඳහා පළාත් පාලන ආයතනය වෙතින් ඉල්ලුම් කිරීමට අවශ්‍යවේ. මෙම සේවාවන් ලබා ගැනිමට ඔබට ගාස්තු ගෙවීමට සිදුවන අතර වසරකට වරක් ඔබේ බලපත්‍රය අළුත් කිරීමටද අවශ්‍ය වේ. සත්‍ය වශයෙන්ම ඔබ ආහාර සම්බන්ධ වූ කුමන ආකාරයේ පරිශ්‍රයක් ඉදිකිරීමට හෝ ආරම්භ කිරීමට පෙර මෙන්ම දැනට ඇති ගොඩනැඟිල්ලක පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතුනම් අදාල පළාත් පාලන ආයතනයේ අවසරය ලබා ගැනීම ඔබගේ වගකීම හා යුතුකමවේ.

ඒ අනුව ඔබගේ ආයතනයේ සේවය සදහා යොදවා ගැනීමට යෝජිත කාර්ය මණ්ඩලය සඳහා නිසි පුහුණුවක් ලබා තිබීමද වැදගත්වේ. මේ උදෙසා අවශ්‍ය මූලික පුහුණුව ලබාදීම තුළ්න් ආහාර සුරක්‍ෂිතතාව සහ ආහාර හැසිරවීම පිළිබදව සේවකයිනට අවබෝධයක් ලබාදිය හැක. සමහර ව්‍යාපාර මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ජාතික වශයෙන් පිළිගත් වෘත්තීමය පාඨමාලාවක් හැදෑරීමට තම කාර්ය මණ්ඩලය යොමුකරවයි. කෙසේ වුවද සමස්ථ කාර්ය මණ්ඩලයට ලබාදෙන පුහුණුව ආහාර  කර්මාන්ත අංශයටම විශේෂිත විය යුතුය. එසේම කාර්ය මණ්ඩලය උදෙසා ආහාර සුරක්ෂිතතා අධීක්ෂකවරයෙකු බඳවාගැනීම ද යෝග්‍යවේ. මෙම අධීක්ෂකවරයාහට නිසි වෘත්තීය පුහුණුවක් සහ සහතිකයක් ලබාතිබීම ඔහුට හෝ ඇයට මෙම තනතුරේ වැඩ කිරීමට එය මනා පිටුවහලක් වනු ඇත.  එසේ නැතහොත් ඔබේ වර්තමාන සේවකයෙකු එකී තනතුර උදෙසා පුහුණුකර සේවයට යොමුකරගත හැකිවේ. එසේ නොමැතිනම් ඔබේ මනාපය අනුව බාහිර පුද්ගයෙකු සේවයට කැඳවාගත හැකිය. එසේ වුවද එම තනතුරේ නිරත කරවන පුද්ගලයාගේ සේවය ලබා ගැනිමට පෙර සලකා බැලිය යුතු කරුණු කිහිපයකි. එනම් තම ව්‍යාපාරයට ඇති වගකීම් ඔහුට හෝ ඇයට තේරුම් ගත හැකිවීම ඉතා අත්‍යවශ්‍යවේ. එමෙන්ම ආහාර නිෂ්පාදනයන්හි සුරක්ෂිතතාව සහ පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳ අනෙකුත් සේවකයන් අධීක්ෂණය කිරීමට කැමැත්තක් හා හැකියාවක් තිබිය යුතුයි. එසේම ආයතනිකව පැනනඟින නොගැලපීම් හෝ නොසැලකිලිමත්කම පිළිබඳ ගැටළු විසඳීමට එම තැනැත්තාහට හැකියාවක් තිබේද යන්නයි. මෙමඟින් අදහස් වන්නේ මෙකී වගකීම් විශ්වාස කළහැකි යැයි හැඟෙන කෙනෙකුගේ අතෙහි තැබිය යුතු බවයි.

කෙසේ වුවද කාර්ය මණ්ඩලයේ ආහාර සුරක්ෂිතතා අධීක්ෂකවරයෙකු නොමැතිව ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යාහැක. නමුත් ආයතනික කාර්යභාරය හා සේවක ධාරිතාවය මත එකී තනතුරු එකකට වඩා තිබීම ඵලදායීවනු ඇත. ඒ අනුව ඔබේ ව්‍යාපාරයේ එදිනෙදා කටයුතුවලදී සියළුම ආහාර නිෂ්පාදන උදෙසා සුරක්ෂිතතා කේත අනුගමනය කරන බව සහතික කිරීමට මෙම අධීක්ෂකවරුන්ගේ වගකීමවේ. නමුත් ආහාර සුරක්ෂිතතා වගකීම සියල්ලම ඔවුන් වෙත පැවරෙන්නේ නැතිබව මතක තබා ගන්න. මෙය ඔබේ ව්‍යාපාර පරිශ්‍රය තුල වැඩකරන ආකාරය මෙන්ම ආහාර හසුරුවන ආකාරය අනුව රඳාපවතී. උපද්‍රව විශ්ලේෂණය සහ අති අවදානම් ස්ථාන පාලනය කිරීමේ (HACCP) මූලධර්ම මත පදනම් වූ ආහාර සුරක්ෂිතතා වැඩසටහන  මේ උදෙසා ඔබගේ ආයතනය තුල ඔවුන් මගින් ප්‍රවර්ධනය කරගත හැක. ඒ සදහා උපයෝගීකර ගන්නා ලේඛන නිරන්තරයෙන් යාවත්කාලීන කළයුතු අතර එකී ලේඛන ව්‍යාපාර පරිශ්‍රයේම තබාගත යුතුය. මක්නිසාදයත් ඔබගේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ඕනෑම වේලාවක විගණනය කළහැකි වියයුතු බැවිනි. මේ සියල්ල ක්‍රියාත්මක කළ පසු  සුරක්ෂිතතා අධීක්ෂකවරුන්හට නිතිපතා ආහාර නිෂ්පාදන පරීක්‍ෂා කිරීමට හා ව්‍යාපාර කටයුතු යාවත්කාලීන කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙවැනි වාතාවරණයක් යටතේ පාරිසරික සෞඛ්‍ය නිලධාරීන්ගේ අහඹු විගණනයකට වුවද ඕනෑම අවස්ථාවක ඔබගේ ව්‍යාපාරය සූදානම් බව පැහැදිලිවේ.

එසේ වුවද ව්‍යාපාරයක ආහාර සුරක්ෂිතතා කළමනාකරණ ක්‍රියා පටිපාටි සංවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම පිළිබඳ වගකීම එහි හිමිකරු වශයෙන් ඔබ සතුවේ. එය සිදුකිරීම සඳහා ඔබහට ආහාර සුරක්‍ෂිතතාව සහ සනීපාරක්ෂාව පිළිබඳ වූ පුහුණුවක් තිබිය යුතුය. ඒ උදෙසා ස්වයං අධ්‍යයනය හෝ අදාළ පෙර අත්දැකීම් මත ඉගෙන ගත හැක්කේ වැඩ කරන අතරතුර දී ලබන පුහුණුව මතවේ. කෙසේ වුවද ආහාර ස්වස්ථතාව සහ අසාත්මිකතා ඇතුළු පූර්ව ආරක්ෂණ ක්‍රම පිළිබඳ පුහුණුව ලබාගැනීමට සුදුසු ආයතනයක් වෙත යාම වඩාත් යෝග්‍යෙව්. එමෙන්ම ඔබ හෝ ඔබේ කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඕනෑම පුහුණුවක් පිළිබඳ වාර්තාවක් තබා ගැනීම හොඳ අදහසකි. බලයලත් නිලධාරීන් ඔබේ පරිශ්‍රයට පැමිණෙන විට මෙය පෙන්වීමට ඔබට හැකිවේ.

එමෙන්ම ආහාර නිෂ්පාදන පිළිගන්වන හෝ අලෙවිකරන ස්ථානයක පාරිබෝගිකයින්හට ආහාර ආරක්ෂිතව පරිබෝජනය කිරීමට හැකිවන පරිදි එකී පරිශ්‍රය තුල හා එය අවට හොඳ ස්වස්ථතාවක් පවත්වාගැනීම ද අත්‍යවශ්‍යවේ. එය පාරිබෝගිකයින් ආකර්ෂණය කරගැනීමටද මහඟු පිටුවහල් වන අතර ආහාර මත රෝගකාරක වෛරස හා බැක්ටීරියා  ගොඩනැගීම වැළැක්වීමට ද උපකාරීවේ. ඔබ ආහාර අලෙවි කිරීමේ කටයුතු වල නිරතවන්නේනම් ආරම්භයේ සිටම මේබව සහතික කිරීමට උපකාරීවන ක්‍රම හඳුන්වාදිය යුතුය. හොඳ ස්වස්ථතාවක් සඳහා මතක තබා ගත යුතු ප්‍රධාන කරුණු ලෙස ආහාර නිෂ්පාදනයේදී එකතුවිය හැකි හානිකර බැක්ටීරියා, රසායනික ද්‍රව්‍ය හා වෙනත් අපද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. ඒ උදෙසා ආහාර ආරක්ෂිතව ගබඩා කිරීමට කබඩ්, රාක්ක, බහාලුම් හා ශීතකරණයක් ඔබට අවශ්‍ය කෙරේ. එසේම ඔබ ආහාර ප්‍රවාහනය කරන්නේනම් ඔබේ පරිශ්‍රයේ සිට වෙනත් ස්ථානයකට රැගෙනයාමේදී හෝ ඔබේ පරිශ්‍රයට රැගෙනඒමේදී ඒවා අපවිත්‍රවීම වළකා ගත යුතුවේ.

එමෙන්ම කුඩා හෝ විශාල ප්‍රමාණයේ ආයතනයක වුවද පරිබෝජනයට සැකසූ කෑම හා බීම හසුරුවන්නන් ඔවුන්ගේ දෑත් භාවිතයන් හා කතාබහෙන්  පාරිබෝගිකයාගේ පෞද්ගලික ස්වස්ථතාවට හානියක් කිරීමේ අවදානම අවම කරන බවට සහතික විය යුතුය. කෑම හා බීම ආරක්ෂිතව පිළිගැන්වීමට වග බලාගන්න. ආහාර පිළිගන්වනවිටදී ඔබ එය පූර්ව පරීක්ෂාවකට ලක්කර බැලිය යුතුය. එය පැවතිය යුත්තේ සිසිල් ආකාරයෙන් ද, එහි ඇසුරුම්වලට හානි සිදුව තිබේද යන්න හා එහි ආයු කාලය කොපමණදැයි සැකහැර දැනගන්න. නිෂ්පාදකයා වෙතින් ඔබ ඇණවුම් කළ ආහාර හා  ලබා දුන් ආහාර ආරක්ෂිත නොමැතිව හසුරුවා ඇතිබව හෝ ගුණාත්මක බවින් අඩු යැයි ඔබ සිතන්නේ නම්, එය අළෙවි නොකර වහාම ඔබේ සැපයුම්කරු අමතන්න. කිසියම් ආහාරයක සුරක්ෂිතතාව පිළිබඳ ගැටළුවකදී ඒවා වෙළඳපොලෙන් ඉවත් කර ගැනීමට සහ නැවත කැඳවීමට හැකිබව වටහා ගන්න. කෙසේ වුවද ආහාරපාන අලෙවිකරන ඔබගේ ව්‍යාපාරය නීතියට අනුකූල වන්නේද යන්න හා අලෙවිකරන ආහාර නිෂ්පාදනය කරන්නේ සෞඛ්‍යාරක්ෂිතව ද යන්න පරීක්ෂා කිරීම සඳහා බලයලත් නිලධාරීන්හට ඔබගේ පරිශ්‍රය පරීක්ෂාකිරීමට බලය ඇතිබව වටහාගන්න. ඔවුන් පරීක්‍ෂා කරන දිනයේ දක්නට ලැබෙනදේ මත පදනම්ව  ඔබට අංකිත හෝ අක්ෂර මගින් දක්වන ස්වස්ථතා ඇගයීමක් ලබා දිය හැකිය. ලබා දෙන වර්ගීකරණ සහතිකය ප්‍රදර්ශනය කිරීමෙන් ඔබගේ ආයතනය ස්වස්ථතා ප්‍රමිතීන් කෙතරම් හොඳින් ක්‍රියාත්මක කරන්නේද යන්න ගනුදෙනුකරුවන්හට දැන්වීමට හැකිවේ.

එසේම උපද්‍රව විශ්ලේෂණය සහ අති අවදානම් ස්ථාන පාලනය කිරීමේ(HACCP) මූලධර්ම මත පදනම්ව ඔබෙගේ ආයතනයේ ආහාර සුරක්ෂිතතා කළමනාකරණ  ක්‍රියා පටිපාටි සකස් කරගතහැක. එය විභව ආහාර උපද්‍රව හඳුනා ගැනීමට සහ එම උපද්‍රව ඉවත් කිරීමට හෝ පිළිගත හැකි මට්ටමකට අඩු කිරීමට වග බලා ගැනීම සඳහා හඳුන්වාදී ඇති ජාත්‍යයන්තරව පිළිගත් ක්‍රමවේදයකි. තවද ආහාර නිෂ්පාදන ඇසුරුම්කරණය සහ ලේබල් කිරීම පිළිබඳ අදාල නියමයන් මගින් ලේබලයක් මත සදහන් කළයුතු  දේ දක්වන ආකාරය සදහන්කර තිබේ. මෙමගින් නියාමනය කරනු ලබන්නේ දැනුවත්වී තෝරා ගැනීම සඳහා ආහාර පිළිබඳ නිවැරදි තොරතුරු පාරිබෝගිකයින් වෙත ප්‍රවේශ කිරීමේ ක්‍රමවේදයයි. ඒ අනුව පරිබෝජනයට සැකසූ නිෂ්පාදනයන්හි ඊට අදාල අසාත්මිකතා තොරතුරු ප්‍රමාණවත් ලෙස සදහන් කළ යුතුය. එමෙන්ම ආහාර සඳහා අනුමත කර ඇත්නම් පමණක් ආකලන ද්‍රව්‍යය භාවිතා කළහැක. මෙම ක්‍රියාපටිපාටීන් සෞඛ්‍යාරක්ෂිතව ආහාර නිෂ්පාදනය කිරීමට සහ විකිණීමට මහෝපකාරීවනු ඇත. ඒ අනුව ඔබේ නිෂ්පාදන වලට අදාළ ලේඛන සහ වාර්තා යාවත්කාලීන කරතබා ගන්න. එසේම ඒ පිළිබඳව නිරන්තරයෙන් සමාලෝචනය කරන්න. මෙම ස්වස්ථතා පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඔබට නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූල විය හැකිය. වැඩි විස්තර සඳහා ඔබේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් හමුවී සාකච්ඡා කරන්න.

ඔබට ආහාර හෝ ආහාර ද්‍රව්‍ය සපයන සියළුම සැපයුම්කරුවන් පිළිබදව මෙන්ම ඔබ විසින් ආහාර සපයන හෝ ආහාර අමුද්‍රව්‍ය  ඔබවෙත සපයන ව්‍යාපාර පිළිබඳව  වාර්තා තබාගත යුතුය. සැපයුම්කරුගේ නම සහ ලිපිනය ඔබ සපයන ව්‍යාපාරයේ නම සහ ලිපිනය, නිෂ්පාදන වර්ගය සහ ප්‍රමාණය, ගනුදෙනු කළ දිනයන් සහ බෙදා හැරීමේ දිනයන්, කණ්ඩායම් අංකය, ඉන්වොයිසි අංක පිළිබද තොරතුරු එම වාර්තාවලට ඇතුළත් විය යුතුවේ. මෙම සියලුම වාර්තා යාවත්කාලීනව තබා ගත යුතු අතර අවශ්‍යතාවයකදී පරීක්ෂණ සඳහා ඒවා ඉදිරිපත් කිරීමට සිදුවිය හැක. ආහාර උදෙසා වූ ස්වස්ථතා නීති බලාත්මක කිරීමේ වගකීම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත සතුය. හමුවීමක් නොකර ඕනෑම සාධාරණ වේලාවක ඔබේ පරිශ්‍රයට ඇතුළු වී පරීක්ෂා කිරීමට බලයලත් නිලධාරීන්ට අයිතිය තිබේ. එහිදී මිනිස් පරිබෝජනයට නුසුදුසු යැයි සැක කෙරෙන ආහාරපාන අල්ලා ගැනීම, අලෙවිය තහනම් කිරීම හෝ විනාශ කිරීම වැනි ක්‍රියාමාර්ග ඔවුනට ගතහැකිවේ. ඒ අනුව ආහාර නිෂ්පාදන අරඹයා වන සිද්ධියක් යනු ආහාර නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය පිළිබඳ සැබෑ හෝ සැක සහිත තර්ජන ගැන සැලකිලිමත්වීම තුලින් පාරිබෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා ගන්නා වූ මැදිහත්වීමක් බව පෙන්වා දිය හැකිය.

ඔබ සපයා ඇති ආහාර නිෂ්පාදන සෞඛ්‍යයට අහිතකර, මිනිසුන්ට කෑමට නුසුදුසු හෝ නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නැති බව ඔබ දැන හෝ සැක කළ විටකදී ඔබ එම තොග විකිණීමෙන් ඉවත් කර ගත යුතුවේ. නිෂ්පාදිතය දැනටමත් පාරිබෝගිකයින් වෙත ළඟා වී ඇත්නම් ඒවා නැවත කැඳවිය හැකිය. භාණ්ඩය ආපසු ලබාදීමට හෝ බැහැර කිරීමට පාරිබෝගිකයින්ට දැනුම් දිය යුතුවේ. ඔබේ නිෂ්පාදන ඉවත් කර ගැනීමට හෝ නැවත කැඳවීමට අවශ්‍ය නම් ඔබ වහාම ඔබේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත ඒ බව පැවසිය යුතුය.

ඔබේ ව්‍යාපාරය සඳහා ඔබ තෝරා ගන්නා පරිශ්‍රය අදාල රෙගුලාසිවලට අනුකූලව අවශ්‍ය අවස්ථාවන්හිදී හොඳින් අලුත්වැඩියාකරමින් නඩත්තු කළ යුතුය. නිෂ්පාදනය කරනු ලබන පරිශ්‍රයට, ගබඩා තුලට හෝ අලෙවිහලට ප්‍රමාණවත් වාතාශ්‍රයක්, ආලෝකයක් සහ ජලාපවාහන ක්‍රමයක් තිබිය යුතුය. ආහාර පිළියෙල කරන ප්‍රදේශ හෝ සැකසුම් කාමර හොඳ තත්ත්වයෙන් පවත්වා ගෙනයාම උදෙසා පහසුවෙන් පිරිසිදු කිරීමට හා විෂබීජ නාශක යෙදීමට හැකිවන පරිදි නිරිමිත කළ යුතුවේ. එකී පරශ්‍රයන්ට පහසුවෙන් ප්‍රවේශවිමට හා බැහැරයාමට හැකි ලෙසින් දොරවල් ස්ථාපිත කළ යුතුවේ. ඒවා පිටතින් විවෘත කරන්නේ නම් පහසුවෙන් ඉවත් කළ හැකි කෘමි ප්‍රතිරෝධී තිරවලින් නිර්මිත කළ යුතුය. ආලෝකය සපයන ජනෙල් හදිසි ආපදා අවස්ථාවන්හිදී පහසුවෙන් විවෘත කිරීමට හැකි ආකාරයෙන් පැවතිය යුතුය. ආහාර හසුරුවන ප්‍රදේශවල මතුපිට හා භාවිතාකරන උපකරණයන්හි මතුපිට විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීමට පහසුවිම ඉතා වැදගත්වේ. එමෙන්ම පරිශ්‍රයට අදාල අතිරේක උපකරණ හා විෂබීජ නාශක ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සතුවීම ඉතා වැදගත්බව පැවසිය හැක. එසේම කාර්ය මණ්ඩලය සදහා අත් සේදීමේ පහසුකම් මෙන්ම වැසිකිළි භාවිතයන් පසුව  උණුසුම් හෝ සිසිල් ජලයෙන් දෑත් සෝදා පිරිසිදු කරගැනීමට හා සෞඛ්‍යාරක්ෂිතව වියළීම සඳහා අවශ්‍ය දෑ සැපයීම ඉතා අත්‍යවශ්‍යවේ. එසේම අවශ්‍ය විටෙක කාර්ය මණ්ඩලයට ඇඳුම් මාරු කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයිය යුතුය.

ආහාර සැකසීමේ ස්ථානයේ ආහාර අමුද්‍රව්‍ය සහ පිරිසිදු කිරීමේ උපකරණ සේදීම උදෙසා පහසුකම් වශයෙන් වෙන වෙනම බේසම් ලබාදිය යුතුය. සේවක මණ්ඩලය ස්පර්ශ කරන උපකරණ හා සියළු අයිතම සවිකෘත උපකරණ විය යුතුය. මෙම උපකරණ අවශ්‍ය අවස්ථාවන්හිදී අළුත්වැඩියාකර පිළිවෙළකට හොඳ තත්වයේ තබා ගන්න. භාවිතයට පෙර හා පසුව පිරිසිදුකර දිනපතා විෂබීජහරණය කරන්න. පිරිසිදු කිරීමේ දී සෑම බේසමකටම ප්‍රමාණවත් උණුසුම් හා සිසිල් පිරිසිදු ජලය සැපයිය යුතු අතර කාර්ය මණ්ඩලය වෙත සපයන පානීය ජලය ගුණාත්මක බවින් අනූනවිය යුතුයි. නිෂ්පාදන ධාරිතාවට යෝග්‍ය පරිදි ආහාර ගබඩා කිරීමට මෙන්ම නිෂ්පාදනයේදී ඉවත්වන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සකසා ගැනීමට ක්‍රියාකරන්න.

එසේම පළිබෝධකයන් ඇතිවීම හා ආකර්ෂණය වීම වළක්වා ගැනීම සඳහා ආහාරමය අපද්‍රව්‍ය සහ වෙනත් කුණු හැකි ඉක්මනින් එකී පරිශ්‍ර වලින් ඉවත් කළ යුතුය. මක්නිසාදයත් ආහාර නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රීතව පළිබෝධ පාලනය ඉතා අත්‍යවශ්‍ය දෙයක් වන හෙයිනි. ව්‍යාපාරය සදහා සේවකයින් පස් දෙනෙකු හෝ වැඩි ගණනක් සිටී නම් ඔබ විසින් විධිවිධාන විස්තර කරන ලිඛිත සෞඛ්‍ය සහ ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකසා ගැනීම ඉතා වැදගත්වේ. ඒ අනුව ආහාර නිෂ්පාදන පරිශ්‍ර ආශ්‍රීතව ගැවසෙන  මීයන්, කෘමීන්, කැරපොත්තන්, කුරුමිණියන්, කුහුඹුවන් සහ මැස්සන් හා කුරුල්ලන් පළවාහැරීම හෝ විනාශකිරීම සදහා කටයුතු යෙදිය හැක. එසේ නොකළහොත් එම සතුන්ගේ මාර්ගයෙන් අමුද්‍රව්‍ය වලට හා නිමි ආහාර නිෂ්පාදන වෙත විවිධාකාර විෂබීජ එක්කාසුවිමට හා රෝගකාරක ව්‍යාප්තවීමට හැකියාව තිබේ.

එමෙන් ම ඔබට වෙනත් වගකීම් තිබිය හැකිය. උදාහරණ ලෙස බදු හා ව්‍යාපාර සැලසුම් මූල්‍යයක් ලිවීම, රක්ෂණ කටයුතු ඉටුකර ගැනීම, අන්තර්ජාලය ඔස්සේ ආහාර නිෂ්පාදන විකිණීම සහ අපනයනය කිරීම, ආහාර නිෂ්පාදන සදහා වූ අමුද්‍රව්‍ය ආනයනය කිරීම, ව්‍යාපාරික තොරතුරු ගබඩා කිරීම හෝ භාවිතා කිරීම, ගනුදෙනුකරුවන් සහ සේවක මණ්ඩලය පිළිබඳ තොරතුරු මේ සඳහා අදාළවේ. මෙම තොරතුරු ලේඛණගත කිරීම අනාගත ව්‍යාපාරික කටයුතු සදහා පිටුවහලක්වනු ඇත. එසේ වුවත් ඔබේ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව උදෙසා ව්‍යාපාරික පරිශ්‍රය පිළිබඳ ගිනි අවදානම් තක්සේරුවක් කළයුතු අතර ගිනි ආරක්ෂණ උපකරණ හා ඊට අදාල පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන්න. ඔබට තිබිය යුතු පූර්ව රක්ෂණාවරණය පරිශ්‍රයේ ගිනි අවදානම් තක්සේරු කිරීමේ ප්‍රතිඵල මත රඳා පවතී. විශේෂයෙන්ම ඔබේ පරිශ්‍රයේ මුහුණුවර වෙනස්කරවීමට අදහස් කරන්නේ නම් ඔබ වැඩ ආරම්භ කිරීමට පෙර ගිනි ආරක්ෂණ උපදෙස් ලබා ගැනීම හොඳ අදහසකි. ඒ සදහා ආසන්නතම ප්‍රාදේශීය ගිනි නිවීමේ ඒකකයක උපදෙස් ලබා ගත හැකිය.

එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලගුණ විද්‍යා නිරීක්ෂකයෙකු ලෙස වසර 03 ක්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වූ අඹේපුස්ස, වල්පිට හා හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ත්‍රිත්වයෙහි වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස සේවයකර තිබේ. වසර 2005 සිට 2020 දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (කෘෂිකර්ම)  හා වසර 2000 සිට 2021  දක්වා ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වසර 2016 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර ඒකකයේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. චින මහජන සමූහාණ්ඩුවේ ආධාරමත අවස්ථා දෙකකදී ද  ජපාන තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අවස්ථා දෙකකදී ද වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන ඇත

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *