ජූලි මස තුළ අත්‍යවශ්‍ය ආහාර බෝගයන්හි මිල ගණන් ජීවන වියදමට කෙසේ බලපායි ද?

  අත්‍යවශ්‍ය ආහාර භෝගයන්ට අදාළව දෛනිකව මිල තොරතුරු රැස්කරනු ලබන ප්‍රමුඛතම ජාතික මට්ටමේ පර්යේෂණ ආයතනය වන හෙක්ටර්  කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දත්ත කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන දුමින්ද පියදර්ශන  විසින් මෙම ජුලි මස තුළ දැනට පවතින ප්‍රධාන ආහාර භෝගයන්හි මිල මට්ටම්වල වෙනස් වීම කෙලෙස ජීවන වියදමට බලපායිද යන්න පිළිබඳ සිදුකරනු ලබන විශ්ලේෂණාත්මක විවරණයක් මේ සමග ඉදිරිපත් කෙරේ.

පුද්ගලයෙතුගේ සමස්ථ මාසික වියදමින් 50% ක් පමණ ආහාර ද්‍රව්‍ය සඳහා වියදම්කරන අතර ඉතිරි 50% ආහාර නොවන ද්‍රව්‍ය සඳහා වැයකරයි. මෙම ආහාර ද්‍රව්‍ය සඳහා වියදම්කරන 50% ක ප්‍රමාණය ග්‍රාමීය සහ වතු අංශය තුළ 50 % ක පමණ ප්‍රමාණයක් ගනු ලැබුවද මෙම අගය නාගරික අංශය තුළ වනවිට 35% ක් පමණ වේ. එනම් ඔවුන් ආහාර නොවන ද්‍රව්‍ය සඳහා වියදම්කරන ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීම නිසාය. ඒ අනුව පුද්ගලයකුගේ ජීවන වියදම ඉහළ යාමට නම් මෙම ආහාර මෙන්ම ආහාර නොවන දව්‍ය සඳහා ද වන වියදම් කාන්ඩයන්හි ඉහළයාමක් ඇතිවිය යුතු අතර මෙහි විශේෂත්වය නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල ගණන් කාලගුණික මෙන්ම දේශගුණික හේතූන්මත සෘතුමය තත්වයන් මත ඉල්ලුම සැපයුම මත මිල  ඉහළ පහළ ගිය ද  ආහාර නොවන ද්‍රව්‍යයන්හි මිල මට්ටම්වල ඉහළයාමක් ඇතිවුවත් ඒවායේ මිල පහළ යා යුතු අවස්ථාවන්හි මිල පහළ යනවා ද යන්න  ප්‍රශ්ණකාරී තත්වයක් ඇති කරන බවයි.

විශේෂයෙන් ඉන්ධන ගෑස් විදුලිය මත පසුගිය කාලසීමාව තුළ සැලකියයුතු ලෙස භාණ්ඩ මිල, ප්‍රවාහන වියදම්, ආහාර මිල ගණන් ඉහළ ගියද මිල පහළයාම් සිදුවනවිට එම ප්‍රමාණයන්ට සාපේක්ෂව මෙම ද්‍රව්‍යයන්ට අදාලව මිල අඩුව නැතිතරම්ය. මේවා සලකා බැලීමට අද වන විට තිබෙන ආයතන ප්‍රමාණවත් නොවේ නම් විශේෂ නියාමන අධිකාරියක හෝ අවශ්‍යතාවය පැමිණ තිබේ. මන්ද ජීවන වියදම යනු විශේෂ සැලකිල්ලක් දැක්වියයුතු අංශයක් වන බැවිනි. එනම් පසුගිය කාලසීමාව තුළ තිරිගු පිටි කිලෝවක් රු 400 කට ආසන්නව මෙන්ම ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,000 කට ආසන්නව පැවතියදී ආප්පයක්, බිත්තර රොටියක් අලෙවි වූ රුපියල් මිල අදටත් බොහොමයක් වෙළෙඳසැල්වල වෙනස්ව නොමැත. ඉන්ධන මිල රුපියල් 400 ඉක්වමා තිබූ අවස්ථාවේ පැමිණි ත්‍රීවිල් ගාස්තුව බොහොමයක් තැන්වල අදටත් එලෙසම ය. සාමාන්‍ය ජනතාවට ලැබිය යුතු සහනයන් මෙම මිල සංශෝධනයන් තුළින් ලැබෙනවාද යන්න වෙනමම සලකා බැලියයුතු කරුණකි. මන්ද ජීවන වියදමට මේවා සෘජුවම බලපාන බැවිනි. මෙම කරුණු පිළිබඳ මෙම ලිපියේ දෙවන අදියර තුළින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන අතර කෙසේ වුවද මෙම ලිපිය තුළින් ප්‍රධාන කෘෂී භෝගයන්හි මිල උච්චාවචනයන් මෙම මස තුළ ජීවන වියදමට කුමණ පලපෑමක් ඇති කරයිද යන්න සාකච්චා කිරීමට බලාපොරොත්තු වේ.

එළවළු, අර්තාපල් සහල්  ඇතුළු අත්‍යවශ්‍ය ආහාර බෝගයන්හි ඉදිරි වෙළඳපොල තත්ත්වය පිළිබඳ පුරෝකතනයක්

වෙළඳපොළ තුළ නිරන්තරයෙන්  මිල උච්ඡාවචනයට ලක්වන ප්‍රධානතම කෘෂි ආහාර භෝග ලෙස එළවළු අර්තාපල් මෙන්ම සහල් මිල ගණන් හඳුනාගත හැකි අතර මෙම වර්ගයන්හි වාර්ෂික මිල මට්ටම් සලකා බැලීමේදී වසරේ අනෙකුත් මාසයන්ටත් සාපේක්ෂව මැයි, ජුනි ජූලි යන මාසයන්හි ඉහළ මිල මට්ටමක් වාර්තා වේ. විශේෂයෙන් දේශීය ගොවියාටත් දේශීය පාරිභෝගිකයාටත් මෙම ආහාර කාණ්ඩයන්හි මිල මට්ටම්වල වෙනස්වීම සෘජුවම බලපානු ලබයි. මෙම වසර ආරභම්යත් සමග ඇතිවූ අසාමාන්‍ය වර්ෂාවත් සමග මහ කන්නය ප්‍රමාද වී වගා කිරීමේ ප්‍රතිපළයක් ලෙස මිල ගණන් මැයි මස තුළ ඉහළ අගයක වාර්තා නොවීම දැකිය හැකිවිය. ඒ අනුව ප්‍රරෝකථනය කළ පරිදි  මෙම වසර තුළ මැයි මාසය තුළ සිලළුම එළවළු වර්ගයන්හි මෙන්ම දේශීය අර්තාපල් මිල ගණන් පහළ අගයක පැවතිනි.

කෙසේ වුව ද ජුනි මස මැද සතිය සිට ජූලි මස අවසන් සතියතෙක් දැනට පවතින  එළවළු සහ අර්තාපල් මිල මට්ටම් සාපේක්ෂ ඉහළ අගයක් ගනු ඇත. මෙය කිසිසේත්ම අසාමාන්‍ය තත්ත්වයක් නොවන අතර මහ කන්නයේ අවසන් තොග, වෙළඳපලට ලැබීමෙන් පසු යල කන්නට අදාළ බිම් සැකසීමේ කටයුතු සිදුකිරීම මෙන්ම උඩරට සහ පහතරට යන ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශ දෙකටම ලැබෙමින් පවතින අධික වර්ෂා සහිත තත්ත්වය සමඟ සියලුම එළවළු වර්ගයන්හි සැපයුමේ පහළ යාමක් ඇතිවීම නිසා මිල මට්ටම්වල සාපේක්ෂ ඉහළ අගයක් මෙම මාස දෙක තුළ දැකගත හැකි වනු ඇත. විශේෂයෙන් මෙම කාල සීමාව තුළින් ඉල්ලුමෙහි සැලකිය යුතු පහළ යාමක් සිදු නොවීමත් එම ඉල්ලුමට සාපේක්ෂව සැපයුමෙහි සිදුවන පහළ යාමත්   මිල මට්ටම්වල ඉහළ යාමට බලපාන ප්‍රධාන  හේතුලෙස හඳුනාගත හැකිය. මෙය සාමාන්‍යයෙන් සෑම වසරකම සිදුවන වෙඳෙපොළ තත්ත්වයක් ලෙස දැකගත හැකියි. ඒ අනුව මෙම වසර තුළ ද ජුනි මස 15 න් පසු ජූලි මස අවසන් සතියවන විට පහතරට එළවළු සමය ආරම්භ වනතෙක් තෙක් කාලසීමාව තුළ විශේෂයෙන් උඩරට සහ පහතරට ප්‍රධාන එළවළු වර්ගයන් මිල මට්ටම් ඉහළ අගයක් ගනු ඇත.

එළවළු වෙළෙඳපොළ මිල හැසිරීම

විශේෂයෙන් අර්තාපල් වෙළඳපළ තුළ ද දේශීය අස්වනු සමය අවසන්වීමත් සමඟ ජූලි මාසය තුළ සිල්ලර වෙළඳපළ තුළ අර්තාපල් කිලෝවක් රුපියල් 360.00 – 460.00 අතර මිලක පැවතිය හැකි අතර ප්‍රධාන එළවළු වර්ගයන් වන කැරට්, බෝංචි, ලීක්ස්, මාළු මිරිස් මෙන්ම නෝකෝල් වැනි වර්ග කිලෝවක සිල්ලර මිල මිල දිවයින පුරා රුපියල් 300.00 සිට රුපියල් 600.00  දක්වා උපරිම සීමාවක මෙම කාලසීමාව තුළ දැකගත හැකිය. කෙසේ වුවද මෙම වසරේ ජනවාරි මස ඇති වූ තත්ත්වය මෙන් අසාමාන්‍ය  මිල ඉහළයාමේ තත්වයක් මෙම කාලසීමාව තුළ ඇති නොවනු ඇත. එම නිසා මෙම ජුලි මස අවසන් සතියතෙක්  කාලසීමාව තුළ එළවළු සඳහා පවතින ප්‍රධානතම ආදේශකයන් වන ආනයනික අර්තාපල්, පරිප්පු,ලොකුළුණු වැනි වර්ගයන් මිල මට්ටම් සාපේක්ෂව පහළ අගයක පැවතීම පාරිභෝගිකයාට වඩාත් සැනසිලිදායක තත්ත්වයක් වනු ඇත. එම නිසා මෙම කාලසීමාව තුළ ආනයනික අර්තාපල් සඳහා පවතින බදු ප්‍රතිශතය ඉහල නොදැමීම සිදුකළ යුතු අතර දැනට පවතින බදු ප්‍රතිශතය එම තත්වයෙන්ම පවත්වාගැනීම තුළ පාරිභෝගිකයාට රුපියල් 180.00 – 240.00  අතර මිලකට චීන සහ පාකිස්තානු ආනයනික අර්තාපල් කිලෝවක් ලබාගැනීමේ හැකියාවත් නිෂ්පාදකයා ඉදිරි කන්නයේ නිෂ්පාදනයට පෙළඹවීමත්  යන අරමුණු දෙකම ඉටුවනු ඇත.

අනෙකුත් ආහාර බෝග

එසේම ලෝක වෙළෙඳපොළ තුළින් මිල මට්ටම්වල කිසිදු අසාමාන්‍ය ඉහළයාමක් නොමැති පරිප්පු වැනි ප්‍රධාන ආදේශකයන් හි සිල්ලර මිල කිලෝවක් රුපියල් 280.00 – 320.00 අතර පැවතිය හැකි අතර කප් වර්ගයේ රතු පරිප්පු සඳහා පමණක් මිල රුපියල් 440.00 – 480.00 අතර අගයක පැවතිය හැකිය. එසේම කව්පි සහ මුංඇට පෙර පැවති මිල ගණන්වලට වඩා මිල පහල ගොස් ඇති අතර එය තවදුරටත් පහළයාහක් අපේක්ෂා කළහැකි අතර මෙම වර්ගයන්හි මිල ඉහළයාමක් අපේක්ෂා නොකරනු ඇත. විශේෂයෙන් ආනයනික ඉන්දියානු වර්ගයේ ලොකුළුණු කිලෝවක් රුපියල් 220.00 – 280.00 අතර ද ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 180.00 – 240.00අතර සිල්ලර මිලකට ද දිවයිනේ සියළුම වෙළෙඳපොලවල්තුළ ලබාගත හැකිවන අතර පාකිස්තානු වර්ගයේ ලොකුළුණු කිලෝවක් රුපියල් 180.00 – 220.00 අතර පැවතිය හැකිය. එසේම අනෙකුත් අත්‍යවශ ආහාර ද්‍රව්‍ය අතර සුදුසීනි කිලෝවක් රුපියල් 270.00 – 300.00 අතර ද ආනයනික තිරිගුපිටි කිලෝවක් රුපියල් 175.00 – 220.00 අතර මිලකටත් ආනයනික වියලි මිරිස් කිලෝවක් රුපියල් 800.00 1,000.00 අතර මිලකට විවිධ තත්වයන් යටතේ ලබාගත හැකිය. ඒ අනුව ප්‍රධාන ආහාර භෝග අතර කිසිදු වර්ගයක අසාමාන්‍ය මිල මට්ටම්හි ඉහළයාමක් ඉදිරි මාසය තුළද ඇති නොවිය හැකි අතර ආහාර කාණ්ඩය යටතේ පවතින එළවළු හැර අනෙකුත් සියළුම වර්ගයන් හි මිල මට්ටම් ජීවන වියදමට ඉහළ යාමටතරම් කිසිදු අහිතකර පලපෑමක් ඇති නොකරනු ඇත.

සහල් වෙඳෙපොළ තත්ත්වය

සහල් සඳහා ද දැනට පවතින වෙදෙපොළ තත්ත්වය අනුව කීරි සම්බා හැර අනිකුත් සියලු සහල් වර්ගයන් මිල මට්ටම පවතින උපරිම සිල්ලට මිලට හෝ ඊට පහළ මිල මට්ටමක පවතිනු ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත අනුව මෙවර 2023/24 මහ කන්නය තුළ නිෂ්පාදනය වූ සමස්ත වී ප්‍රමාණය දේශීීය සහල් අවශ්‍යතාවයෙන් පෙබරවාරි මස සිට අවම මාස 08 කට ප්‍රමාණවත් වන අතර වෙළෙදපොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති කීරි සම්බා සහල් සඳහා හිගයක් පවතින අතර අනෙකුත් සියළු සහල් වර්ගයන්හි මිල මට්ටම ඉහළයාමක් කිසිසේත්ම අපේක්ෂා නොකරයි. විශේෂයෙන් මෙවර 2024 යල කන්නයේද සාර්ථක අස්වැන්නක් අපේක්ෂාකළ හැකි අතර ඒ තුළින් අවම වශයෙන් මාස 04 ක දේශීය සහල් අවශ්‍යතාවය සැපිරේ. විශේෂයෙන් පසුගිය කාලසීමාවට සාපේක්ෂව රතු කැකුළු සහ සුදු කැකුළු සහල් මිල මට්ටම්හි ඉහළ අගයක් වාර්තා වුවද එය දැනට සහල් සඳහා පවතින උපරිම සිල්ලට මිලට වඩා පහළ අගයක පවතිනු ඇත. විශේෂයෙන් රජයේ සහල් ලබාදීම සඳහා පැවති සහනාධාර වැඩසටහන තුළින් රතු කැකුළු සහල් සඳහා ඉතා ඉහළ මට්ටමේ ඉල්ලුමක් පැවතීම නිසා මේ වන විට රතු කැකුළු සහල් සිල්ලර මිල රුපියල් 180.00 – 210.00 අතර මිලකට පැමිණ ඇති අතර එම මිල මට්ටම අප්‍රේල් මාසය වනවිට රුපියල් 160.00 – 170.00 අතර පැවතිණි.

විශේෂයෙන් මෙම සහල් සහනාධාර වැඩසටහන හේතුවෙන් ක්ෂේත්‍රය තුළ රතු නාඩු වී සඳහා අපේක්ෂා නොකළ මිලක් ගොවියාට මෙන්ම වී තොග රැස්කරන්නන්ට ලබාගත හැකිව තිබේ. මේ වනවිට සම්බා වී සඳහා කිලෝවක් රුපියල් 120.00 – 126.00 අතර මිලකටත් කීරි  සම්බා වී සඳහා රුපියල් 130.00 – 145.00 අතර ද සුදු නාඩු වී සඳහා රුපියල් 113.00 – 119.00 අතර ද රතු නාඩු වී සඳහා රුපියල් 114.00 – 118.00 අතර ද ඉහළ මිලක් වාර්තා වේ. මෙම මිල ගණන් පෙර වසරට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇත.   කෙසේ වුවද මෙවර යල කන්නයේ අස්වනු නෙළීම ජූලි මස අවසන් සතියෙන් ආරම්භවීමට නියමිතව ඇති නිසා සහල් මිලෙහි ද කිසිදු අසාමාන්‍ය ඉහළ යාමක් මෙම කාල සීමාව තුළ අපේක්ෂා නොකරනු ඇත.

කෙසේ නමුත් කීරි සම්බා සහල් සඳහා පවතින ඉතා ඉහළ ඉල්ලුම නිසා එම මිල මට්ටම උපරිම සිල්ලට මිල ඉක්මවා ගොස් ඇති අතර එම කීරි සම්බා සහල් සඳහා දැනට පවතින පාලන මිල ඉවත් කිරීමක් සිදුවුවහොත් බොහෝ විට කිලෝවක් සඳහා රුපියල් 300.00 – 320.00 ක අතර මිලකට වෙළදපොළ තුළ පැවතිය හැකිය. නමුත් මේ වනවිට කිලෝවක් රුපියල් 340.00 – 360.00 අතර මිලකට වෙළෙඳපොළතුළ අලෙවි වේ. විශේෂයෙන් පසුගිය කාලසීමාව තුළ සංචාරක කර්මාන්තය් ඉතා ඉහළ ප්‍රවර්ධනයක් ඇතිවීම සමග දේශීය සංචාරක හෝටල් ක්ෂේත්‍රය තුළ කීරි සම්බා සඳහා ඉහළ පරිභෝජන ඉල්ලුමක් පැවතීමත් ආනයනික බාස්මති සහල් සඳහා පවතින ඉහළ මිල මට්ටමත් නිසා ඒ සඳහා තිබෙන ප්‍රධාන ආදේශකය වන කීරි සම්බා සහල් සඳහා පවතින ඉල්ලුම සැපයුමට සාපේක්ෂව ඉහළයාම මෙම මිල ඉහළ යාමට හේතු වී තිබේ. විශේෂයෙන් එළඹෙන 2024/25 මහ කන්නය ආරම්භයේ සිට හෝ දැනට පවතින දත්ත සහ තොරතුරු විශ්ලේෂණයකර කීරි සම්බා සඳහා දැනට පවතින වගා බිම් ප්‍රමාණය ඉහළ දැමීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සැලසුම් කළ යුතු අතර එසේ නොමැති වන්නේ නම් දේශීය වශයෙන් පාරිභෝගිකයාට කීරි සම්බා සහල් සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවනු ඇත.

මන්ද යත් මේ සඳහා කිසිසේත්ම ආදේශන සහලක් ආනයනය කිරීමටද නොමැති අතර ආසන්නම සහල් වර්ගය ලෙස GR 11 පොන්නි සම්බා සහල් ඉන්දියාවෙන් ආනයනය කළහැකි වුවද දේශීය කීරි සම්බා සහල් තුළ පවතින රසය සහ ගුණත්වය මෙන්ම පාරිභෝගික රුචිකත්වය නොමැති නිසා එම ආනයනික සහල් සඳහා පවතින ඉල්ලුම අවම මට්ටමක පවතී. එමනිසා කීරි සම්බා දේශිය වහයෙන් වගාව ඉහළ දැමීම සඳහා විශේෂ වැඩසටහනක් සැලසුම් කොළ යුතුව ඇත.

ඒ අනුව ප්‍රධාන අත්‍යවශ්‍ය බෝගයන්හි එළවළු ඇතුළු අනිකුත් ප්‍රධාන ආහාර බෝගයන්හි අසාමාන්‍ය මිල මට්ටම් ජුලි මාසය තුළ පවතින වෙළඳපොළ තත්ත්වය අනුව කිසිසේත්ම ඇතිවීමට කිසිදු අවකාශයක් නොමැති අතර දැනට වෙළෙඳපොළ තුළ පවතින සාපේක්ෂව මිල ඉහළ යාමේ තත්ත්වයන් ජූලි මස අවසන් සතිය වන විට පහතරට එළවළු වර්ග වෙළඳපලට පැමිණීමට නියමිතව පැවතීමත් සමඟ පහව යනු ඇත. එසේම අර්තාපල් වෙළඳපොළ තුළ ද දේශීය අස්වනු සමය ඌව පලාත තුළින් අගෝස්තු මස 15 පමණ ආරම්භ වනතෙක් නුවරඑළිය අර්තාපල් ඉහළ මිලක පැවතිය හැකි අතර ඒ සඳහා පාරිභෝගිකයාට ආනයනික අර්තාපල්  වෙළඳපොළ තුළ පහළ මිලකට ලබාගැනීමට හැකියාව ඇත.

ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමේ දී දත්ත සහ තොරතුරු ඉතා වැදගත්වන අවස්ථාවක අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා  ඉදිරියේදී වෙළෙඳපොළතුළ ඇතිවිය හැකි තත්වයන් පිළිබඳ මෙම සංක්ෂිප්ත පුරෝකතන වාර්තාව ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.

ඩබ්.එච්.දුමින්ද ප්‍රියදර්ශන, ජ්‍යේෂ්ඨ පර්යේෂක සහ ප්‍රවීන කෘෂී ආර්ථික විශ්ලේෂක, දත්ත කළමණාකරණ අංශය , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු, පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *