මහර, මුදුන්ඇළ ආශ්‍රිත අක්කර 80ක පමණ වන පුරන් කුඹුරු යාය අස්වැද්දීමට ජලය ලබා ගැනීමේ අරමුණින් ඉදි කර තිබූ අමුණු දෙකක් ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමේදී කැඩි යාම හේතුවෙන් මෙම කුඹුරු යාය අස්වැද්දීමට අවශ්‍ය ජලය නොමැතිකමින් මෙම කුඹුරු යාය වසර ගණනාවක සිට පුරන්ව පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
මුල් කාලයේ මෙම කුඹුරු යාය අස්වැද්දීමට ප්‍රදේශයේ සිටි පැරණි ගොවියන් කටයුතු කළ අතර මේ වනවිට ඔවුන්ගේ අභාවය සහ වියපත් වීම හේතුවෙන් තරුණ පරපුර මෙම කුඹුරු යාය අස්වැද්දීමට මැළිකමක් දක්වන බව ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් විසින් මෙම භූමියට වීදුරු කටු ඇතුළු කැළිකසළ බැහැර කිරීම හේතුවෙන් මෙම කුඹුරු යායට බැසීමට ගොවීහු මැළිකමක් දක්වති.
වසර ගණනාවක සිට මෙම කුඹුරු යාය පුරන්ව පැවතීම හේතුවෙන් කුඹුරු යාය ආශ්‍රිතව මී උණ රෝගය පැතිරීමේ අවදානමක් මතුව පවතින නිසා කිසිදු පුද්ගලයකු මෙම කුඹුරු යායට බැසීමට මැළිකමක් දක්වන බව ද එහි ගිය අපට දැනගැනීමට හැකි විය. වැසි කාලයට මෙම ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා මෙම කුඹුරු යාය වගා කිරීමට ප්‍රදේශවාසීහු උනන්දුවක් නොදක්වති. මෙම ප්‍රදේශය ආශ්‍රිත නිවාසවල ඇති වැසිකිළි, කැසිකිළි පද්ධති මෙම පුරන් කුඹුරු යායට හරවා ඇති බැවින් එය අපවිත්‍රව පවතින බව ද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
පසුගිය කාලයේ ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන් එක්ව මෙම ප්‍රදේශය ආශ්‍රිතව ගොඩ වගාවන් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළත් එම වගා කටයුතු ද මේ වනවිට අතරමඟ ඇනහිට ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ඒ අනුව මහර, මුදුන්ඇළ ආශ්‍රිතව පිහිටි අක්කර 80ක් පමණ වන පුරන් කුඹුරු යාය වගා කිරීමට ජලය සපයන අබලන් තත්ත්වයේ පවතින අමුණු දෙක නිසි පරිදි සකස් කර මෙම කුඹුරු යාය අස්වැද්දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට ප්‍රදේශවාසීහු අදාළ අංශවලින් ඉල්ලා සිටිති.
ගණිදු රෝචන සමරතුංග : දිනමිණ ඊ පුවත්පත