ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව (International Pepper Community – IPC) විසින් වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 වැනි දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත් වේ.
පරිසර, වනජීවී, වන සම්පත්, ජලසම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම සමුළුව පැවැත්වේ.
මේ සඳහා විදේශීය අමුත්තන් 200ක් පමණ ද දේශීය විද්වතුන් 100 දෙනෙකු පමණ ද සහභාගි වීමට නියමිතය. මෙම සම්මේලනය සමාරම්භක උත්සවය, වෙළෙඳ ප්‍රදර්ශනය, තාක්ෂණික සැසි, වෙළෙඳ කමිටු හා ගම්මිරිස් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි දැක්ම පිළිබඳ විද්වතුන්ගේ විවිධ ඉදිරිපත් කිරීම් ගණනාවකින් යුක්ත වන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ලෝකයේ ගම්මිරිස් වගා කරන ප්‍රධාන රටවල් වන්නේ ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව හා වියට්නාමයයි. ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව (International Pepper Community – IPC) යනු ලෝකයේ මෙම ගම්මිරිස් වගා කරන රටවල් අතර ඇති කර ගත් ජාත්‍යන්තර සංවිධානයකි. මෙම ආයතනය ආසියා සහ පැසිෆික් කලාපයන්හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාජ කොමිසම (United Nations Economic and Social Commission for Asia and the Pacific – UN-ESCAP) යටතේ 1972 වසරේ පිහිටුවා ගන්නා ලදි.
මෙහි මූලස්ථානය ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ පිහිටා ඇති අතර, එහි ප්‍රධානියා ලෙස විධායක අධ්‍යක්ෂවරයෙකු කටයුතු කරයි. මෙම සංගමයේ ප්‍රධාන හා ස්ථීර සාමාජිකත්වය ඉහත රටවල් 05 සඳහා හිමි වන අතර, සහායක සාමාජිකයින් (Associate Members) ලෙස පිලිපීනය හා පැපුවා නිව්ගිනියා යන රටවල් එක්වී ඇත.
මෙම සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරී අරමුණු වන්නේ, ගම්මිරිස් නිෂ්පාදනය හා සම්බන්ධ තාක්ෂණික හා ආර්ථික පර්යේෂණ සිදු කිරීමයි. සම්බන්ධීකරණය හා ප්‍රවර්ධනය කිරීම, ගම්මිරිස් කර්මාන්තය හා සම්බන්ධ ප්‍රතිපත්තිමය තොරතුරු හුවමාරු කර ගැනීම ආදිය මෙහි සෙසු අරමුණු අතර වේ.
‘ගම්මිරිස්’ කුළුබඩු රජු හෙවත් කළු රත්තරන් යන ගෞරවනීය නාමයෙන් හඳුන්වයි. වසර 2023 වන විට ලෝකයේ ගම්මිරිස් වෙළෙඳපොළ ඩොලර් බිලියන 2.78ක් පමණ විය. එය වසර 2032 වන විට තවත් 2.8%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමානයේ ලෝක වාර්ෂික ගම්මිරිස් නිෂ්පාදනය මෙ.ටො. 432,607 පමණ වේ.