වී අස්වනු සාධාරණ මිලකට මිලදී ගැනීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක්

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ  ණය යෝජනා ක්‍රමයක් (Pledge Loan Scheme) ආරම්භ කර ඇත.

ඒ අනුව, මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො.25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති ය. අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියකුට හෝ සමූපකාර සමිතියකට රු.මි.50ක උපරිම ණය මුදලක් 7%ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුල ගෙවා අවසන් කල යුතුය.

මෙම ණය යෝජනා ක්‍රමය පහත සඳහන් බැංකු හරහා ක්‍රියාත්මක ‍කිරීමට සැලසුම කර ඇත.

  • ලංකා බැංකුව
  • මහජන බැංකුව
  • ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
  • රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
  • හැටන් නැෂනල් බැංකුව
  • සෙලාන් බැංකුව
  • සම්පත් බැංකුව
  • කොමර්ෂල් බැංකුව
  • ඩී.එෆ්.සී.සී බැංකුව
  • ජාතික සංවර්ධන බැංකුව
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
  • සණස සංවර්ධන බැංකුව
  • යුනියන් බැංකුව
  • පැන් එෂියා බැංකුව
  • අමානා බැංකුව
  • කාර්ගීල්ස් බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රු.මි. 10,000ක් වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇත. 2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණය යෝජනා ක්‍රමය මෙම වර්ෂයේ ජනවාරි මස 03 දින සිට මැයි මස 15 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *