ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායෙල් තානාපති Reuven Azar මහතා අතර හමුවක් 2025 මැයි 20 වන දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
මෙම හමුවේදී, දෙරට අතර කෘෂිකර්මික,පශු සම්පත්,වාරිමාර්ග තාක්ෂණ හුවමාරුව, ආයෝජන සහයෝගීතා, සහ නවීන කෘෂිකර්මික ක්‍රමවේදයන් පිළිබඳ විශේෂ සාකච්ඡා සිදු විය.
තානාපතිවරයාගේ ප්‍රකාශය අනුව, ඊශ්‍රායලය වසර එකහමාරක අභියෝගාත්මක කාලයක් පසුකරමින්, ත්‍රස්තවාදයට එරෙහිව ඵලදායී ලෙස ක්‍රියාකරමින් එය ජය ගැනීමට සමත් වූ බවත්, බහුල ගැටළු අතරතුර ඔවුන් ඉවසීමෙන් හා ශක්තිමත්ව ඒවාට මුහුණ දී ඇති බවත් ඔහු අවධාරණය කළේය.ඊශ්‍රායලයේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, තානාපතිවරයා පැවසුවේ එරට ආර්ථිකය මේ වන විට තිරසාර වර්ධනයක් පවත්වමින් සිටින බවත්, වාර්ෂික වර්ධන වේගය 4%ක් ලෙස සටහන් වන බවත්ය. තවද, ආයෝජන අවස්ථා විශේෂයෙන් නව නිපැයුම් හා තාක්ෂණ අංශයන්හි දී ඉතා ආකර්ෂණීය මට්ටමක පවතින බවද ඔහු අවධාරණය කළේය.තවද, තානාපතිවරයා අවධාරණය කළේ ඉන්දියාව සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන “Center of Excellence” (විශිෂ්ටතා මධ්‍යස්ථාන) කෘෂි ව්‍යාපෘති 32ක් සාර්ථකව ක්‍රියාත්මක වන අතර, එවැනි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේද ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බවයි. ඔහු වැඩිදුරටත් පැවසූයේ, එවැනි ව්‍යාපෘතියක් මඟින් ශ්‍රී ලාංකික ගොවීන්ට නවීන තාක්ෂණික දැනුම සහ වෘත්තිය පුහුණුව ලබාදිය හැකි බවයි. ශ්‍රී ලංකාවට ගැලපෙන කෘෂිකර්මික ආකෘතියක් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීම සඳහා, තානාපතිවරයා අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට ඊශ්‍රායලයේ නිල සංචාරයකට ආරාධනා කළේය. එම සංචාරය තුළදී ඊශ්‍රායලයේ නවීන කෘෂිකර්ම තාක්ෂණයන්, ව්‍යාපෘති සහ ක්‍රමවේදයන් සජීවීව දැකබලා, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය දැක්මක් ලබාගත හැකි වනු ඇතැයි ඔහු පෙන්වාදුනි. එසේම තානාපතිවරයා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දීමට තමන්ගේ සූදානම හා එකඟතාවය පළ කළේය. තවද, ඒ සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර කෘෂිකර්ම ක්ෂේත්‍රයට ආකර්ෂණය කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විශේෂයෙන් අවධාරණය කළේ, එම කාර්යය සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීනීකරණය අත්‍යවශ්‍යම අංගයක් බවය. නවීන තාක්ෂණ, නවෝත්පාදන හා ආධුනික ක්‍රමවේදයන්ගෙන් සමන්විත කෘෂිකර්ම ක්ෂේත්‍රයක් ගොඩනඟන මඟින් පමණක් තරුණයින්ගේ සිත් ඇදගැනීම හැකි වනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුනි. එසේම ශ්‍රී ලංකාවේ පවතින කුඩා පරිමාණ වගා බිම්වල ඵලදායීභාවය වැඩි කිරීම සඳහා, එම බිම් ඒකරාශී කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේය. ඒ සඳහා, ගොවීන්ගේ ඉඩම් හිමිකම ආරක්ෂා කරමින් ගොවි සමාගම් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවත්, එමඟින් කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවය වර්ධනය කිරීමේ හැකියාවත්, ව්‍යාපාරික පරිදි කටයුතු කිරීමෙන් පිරිවැයද අඩු කළ හැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුනි.