
වත්මන් එල් නිනෝ තත්ත්වය ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී අතිප්රබල එල් නිනෝ තත්ත්වයක් බවට පත්විය හැකි බවට පුරෝකථනය කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්න මහතා පවසයි.
පවතින එල් නිනෝ තත්ත්වය ලබන වසරේ මුල් කාර්තුව දක්වා පැවතීමට සියයට 97ක පමණ සම්භාවිතාවක් පවතින බවට පුරෝකථනය කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ වන විට පවතින දත්ත සහ දේශගුණික සංසිද්ධීන් මත පදනම්ව මෙම පුරෝකථන සිදුකරන බවත්, ඉදිරියේදී ලැබෙන නව දත්ත අනුව එම පුරෝකථනවල වෙනස්කම් සිදුවිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විජේමාන්න මහතා මෙම කරුණු හෙළි කළේය.
එල් නිනෝ සංසිද්ධිය ශ්‍රී ලංකාවේ මෝසම් වැසි තත්ත්වයන්ට සහ දේශගුණික රටාවන්ට බලපෑම් ඇති කරන අතර, එහි බලපෑම එක් එක් රටවලට වෙනස් ආකාරයෙන් සිදුවන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
“මෙවර එල් නිනෝ තත්ත්වය හේතුවෙන් අගෝස්තු මාසයේ ඉදිරි දින 10 තුළ සහ සැප්තැම්බර් මාසය පුරා වර්ෂාපතනයේ අඩුවීමක් දක්නට ලැබිය හැකියි. විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට එහි බලපෑම වැඩි වශයෙන් ඇති විය හැකියි. කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසය අවසන් වන විට ක්‍රමයෙන් වර්ෂාපතනයේ වැඩිවීමක් දක්නට හැකියි. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වර්ෂාපතනය වැඩිවීමක් අපේක්ෂා කරනවා. ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී වර්ෂාපතනයේ අඩුවීමක් මෙන්ම රාත්‍රී සහ දහවල් කාලයේ උෂ්ණත්වය ඉහළ යාමක් අපි අපේක්ෂා කරනවා”
ඉන්දියානු සාගර ඩයිපෝල් (Indian Ocean Dipole) සංසිද්ධිය මේ වන විට ධනාත්මක අගයක් පෙන්නුම් කරන බැවින් දෙසැම්බර් මාසය දක්වා වර්ෂාපතන තත්ත්වයක් පවතිනු ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
“විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට දෙසැම්බර් මාසයේදී වැඩි වර්ෂාපතනයක් ලැබීමට ඉඩ තිබෙනවා. වර්ෂාපතනයේ සිදුවිය හැකි වෙනස්කම් හේතුවෙන් ඇති විය හැකි නායයෑම් සහ ජල ගැලීම් තත්ත්වයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සූදානම් වීම් මේ වන විට සිදුකරමින් තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වරින්වර නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද අධ්යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

