
2026 වර්ෂයේ ජුනි 30 වන විට කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 4000ක හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ඇත.
කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් 2025 වර්ෂයේ ජුනි වන විට ඇමරිකානු ඩොලර් මිලියන 100ක විදේශ විනිමයක් ලැබී තිබුණු අතර, මෙය පසුගිය වර්ෂය හා සංසන්දනය කරන විට ඇමරිකානු ඩොලර් මිලියන 25ක (රුපියල් කෝටි 800 ) වැඩිවීමකි.
ලංකා කුරුඳු සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින අධික ඉල්ලුම මෙයට හේතු වී ඇත.
මේ වන විට කුරුඳු නිෂ්පාදන සඳහා ඉහළ මිලක් දේශීය පුරුදු වගාකරුවන්ට ලැබෙන අතර, ඇල්බා ශ්‍රේණියේ කුරුඳු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 7500.00 සහ C පහ ශ්‍රේණියේ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 5500ක – රුපියල් 6000ක මුදලක් ලැබේ. මෙය ඉතිහාසයේ වැඩිම මුදලකට කුරුදු අලෙවි වන අවස්ථාවකි.
2026 වර්ෂයේ අවසන් වන විට කුරුදු කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආදායමක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය කුරුඳු කර්මාන්තය සංවර්ධනය උදෙසා රුපියල් මිලියන 250ක මුදලක් වෙන්කර ඇති අතර, මෙයින් වැඩි මුදලක් ශ්‍රී ලංකාව තුළ කුරුදු වගාව ප්‍රවර්ධනය කිරීමටත් අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීමටත් වෙන්කර ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ.

