
නොච්චියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ‘සිතමු’ කාන්තා ගොවි සංවිධාන සමඟ ‘එක මසකට එක වැඩක්’ තේමාව යටතේ විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙම වැඩසටහන යටතේ නොච්චියාගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ සෑම කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර කොට්ඨාසයකම ස්ථාපිත සිතමු කාන්තා සමිතියක් විසින් අවම වශයෙන් එක් විශේෂ වැඩසටහනක් සිදු කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, කාන්තාවන්ගේ දැනුම, කුසලතා, සාමූහිකත්වය සහ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමට උපකාරී වන විවිධ ක්‍රියාකාරකම් කොට්ඨාස මට්ටමින් සංවිධානය කෙරේ.

කෘෂිකාර්මික ගෙවතු සකස් කිරීම, පලතුරු කප්පාදු පුහුණු , බිම්මල් වගා පුහුණු, ගිණුම් කටයුතු පිළිබද පුහුණු සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පුහුණු වැඩසටහන් මෙහිදී පැවැත්වේ. ඊට අමතරව ආගමික හා සංස්කෘතික වැඩසටහන්, ශ්‍රමදාන, සුබසාධන වැඩසටහන්, ක්ෂේත්‍ර චාරිකා සහ පොළ වැඩසටහන් ද සංවිධානය කරනු ලැබේ.
මෙම ක්‍රියාකාරකම් මඟින් සිතමු කාන්තා සමිති සාමාජිකයන් අතර සාමූහිකත්වය වර්ධනය කිරීම, එක්ව කටයුතු කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ දැනුම හා කුසලතා වර්ධනය කිරීම ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ. එසේම, ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමට උපකාරී වන දැනුම හා ප්‍රායෝගික කුසලතා ලබාදීමත්, සතුට, විනෝදය සහ සහකම්පනය වර්ධනය වන ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව සැලසීමත් මෙම වැඩසටහනේ අරමුණු අතර වේ.

මෙම වැඩසටහන් සඳහා නොච්චියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානය භාර ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී සහ නොච්චියාගම ගොවිජන සේවා කාරක සභාවේ විධායක ලේකම් සුමින්ද ජයරුවන් ගමගේ මහතා, සිතමු කාන්තා සමිති විෂය භාර කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වරයා, විෂය භාර නිලධාරීන් සහ කොට්ඨාස භාර කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වරුන් දායක වේ.
එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් වගා කිරීමේ මණ්ඩලය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ විදාතා සම්පත් මධ්‍යස්ථානය ඇතුළු ආයතනවල නිලධාරීන් ද මෙම වැඩසටහන් සඳහා සහයෝගය ලබා දෙනු ලැබේ.


