සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන් වෙනුවෙන් ජනපති ගත් පියවර විශේෂ ඇඟයීමට

සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන් වෙනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා කළ සාධනීය මැදිහත් වීම අගය කරන බවත්, මේ සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළට සිය සංගමයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති, නිශාන්ත බණ්ඩාර අත්තනායක මහතා පැවසුවේය.

අත්තනායක මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල් කාන්ත සහ වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (11) පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

අත්තනායක මහතා මෙසේ ද පැවසුවේය, “ජනාධිපතිතුමා, කෘෂිකර්ම ඇමතිතුමා සහ වෙළෙඳ ඇමතිතුමා මේ රටේ වී ගොවියන්ගේ ප්‍රශ්නය වෙනුවෙන්, ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ වෙනුවෙන් ඉතාමත් කාලෝචිත සහ  වැදගත් පියවරක් අද  (11) දිනයේ ගත්තා. ඒ වගේ නිහතමානී ජනාධිපතිවරයෙක්, කෘෂිකර්ම අමාත්‍යවරයෙක් සහ වෙළෙඳ ඇමතිවරයෙක්  ගත්ත ඒ කාලෝචිත තීන්දුව වෙනුවෙන්, කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් ඔබතුමාලාට මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. මේක රට වෙනුවෙන් ගත්ත තීන්දුවක්. ඔබතුමාලා අපට දැක්වූ නිහතමානීකම, වංචාවෙන් සහ දූෂණයෙන් තොර පැවැත්ම අපි ඉතාම ගෞරවයෙන් අගය කරනවා.

ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමය ලෙස අපි රජය ගත්ත මේ පියවරට අපේ උපරිම සහයෝගය පළ කරනවා වගේම රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අපි අපේ උපරිම සහයෝගය ලබා දෙනවා.

මම සහ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමය ඔබතුමන්ලා ඊයේ ගත්ත ඒ දූරදර්ශී ක්‍රියාමාර්ගය යළි යළිත් අගය කරනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමාටත්, කෘෂිකර්ම අමාත්‍යතුමා සහ වෙළෙඳ ඇමතිතුමාට අපි අපේ ස්තුතිය යළි ප්‍රකාශ කිරීමට කැමතියි” ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *