
2026 යල කන්නයේ පොහොර සහනාධාර ගෙවීම කෝටි 1,400ක් ඉක්මවා ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා කියයි.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (12) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ යල කන්නයේ වී වගා කර ඇති කුඹුරු ඉඩම් හෙක්ටයාර 474,068කට සහ කුඹුරු ඉඩම් වල වෙනත් ක්ෂේත්‍ර බෝග වගා කර ඇති ඉඩම් හෙක්ටයාර 6440 කට පමණ මෙම මුදල් ගෙවා ඇති බවයි.
මෙම සහනාධාර වැඩසටහන මගින් යල කන්නයේ වී වගා කළ වී ගොවීන් 728,185 දෙනෙකු ට ද වෙනත් බෝග වගා කල ගොවීන් 14,677 දෙනෙකුට ද සහනාධාර හිමි වී ඇත.
මීට පෙර වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් පැවති සහනාධාර මුදල රුපියල් 30,000 දක්වා ද, කුඹුරු ඉඩම් වල වෙනත් බෝග වගා කිරීමේ දී හෙක්ටයාරයකට රු. 15,000 වශයෙන් පැවති මුදල රුපියල් 18,000 දක්වා ද යල කන්නය ආරම්භයේ සිට රජය විසින් ඉහළ නංවා ඇත.
මීට අමතරව වී වගාවට පොහොර ලබා දීමේ දී වෙළඳපොල ගැටලු ඇතිවීම වැළැක්වීම සහ පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන්ට ඇතිවිය හැකි බලපෑම වැළැක්වීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන 566 ක් හරහා යූරියා පොහොර 50kg මිටියක් රුපියල් 10,200.00 උපරිම මිලකට අලෙවි කිරීමට කටයුතු කරන ලදි. මෙහීදී ස්ථාවර මිලක් පවත්වාගෙන යාම වෙනුවෙන් ද රජය විසින් රුපියල් මිලියන 1867.90 ක පිරිවැයක් දරන ලද බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

