GCF නකල්ස් ව්‍යාපෘතියෙන් ගොවීන්ගේ ගෙවතු වගා වැඩසටහන ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 8.9ක මූල්‍ය සහාය

දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සහ ස්වභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගත් GCF නකල්ස් ව්‍යාපෘතිය, එහි ප්‍රධාන පාර්ශ්වකරුවා වන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ගෙවතු වගා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටී.

මෙම වැඩසටහනේ තවත් අදියරක් ලෙස හත්මුණගල සහ රත්ගම්මාන ගොවිජන සේවා බලප්‍රදේශවල ගොවීන්ගේ ගෙවතු සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් චෙක්පත් ප්‍රදානෝත්සවයක් පසුගියදා  (අගෝස්තු 05)  පැවැත්විණි. එහිදී ගොවීන් 75 දෙනෙකුට ගෙවතු සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 8.9ක මූල්‍ය ආධාර ප්‍රදානය කරන ලදී.

පසුගිය වසර තුළ මෙම වැඩසටහන යටතේ ගෙවතු 840ක් සාර්ථකව ස්ථාපිත කර ඇති අතර, ඒ හරහා ව්‍යාපෘති ප්‍රදේශය පුරා ගොවි පවුල් සිය ගණනකට සෘජු ප්‍රතිලාභ හිමි වී තිබේ. එම ගෙවතු තුළ පලතුරු, එළවළු, කුළුබඩු සහ බහුකාර්ය වගා බෝග වගා කිරීම ප්‍රවර්ධනය කරමින් පවුල්වල දෛනික ආහාර අවශ්‍යතා සපුරාලීමට මෙන්ම අතිරික්ත නිෂ්පාදනයෙන් අමතර ආදායමක් උපයා ගැනීමට ද අවස්ථාව සැලසෙයි.

මෙහිදී අදහස් දක්වමින් මානව සම්පත් නිලධාරී විරාජ් මහතා ප්‍රතිලාභී ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම මූල්‍ය ආධාර ඵලදායී ලෙස යොදා ගනිමින්, පරිසර හිතකාමී හා තිරසාර ගෙවතු වගා පද්ධති ස්ථාපිත කර, තම පවුල්වල ආහාර සුරක්ෂිතතාව සහ ආදායම් මට්ටම තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන ලෙසයි.

මෙම ගෙවතු වගා වැඩසටහන ව්‍යාපෘතියේ ප්‍රධාන මැදිහත්වීම්වලින් එකක් වන අතර, පවුල් මට්ටමේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, පෝෂණය වැඩිදියුණු කිරීම, පාංශු සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන කෘෂිකාර්මික පද්ධති ගොඩනැගීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදෙයි. එමෙන්ම, ග්‍රාමීය පවුල්වල ආර්ථිකය ශක්තිමත් කරමින් ස්වයංපෝෂිත ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම ද මෙම වැඩසටහනේ තවත් ප්‍රධාන අරමුණකි.

මෙම අවස්ථාවට ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ නන්දන ගුණරත්න මහතා, ව්‍යාපෘති උපදේශක ආචාර්ය ආනන්ද සුබසිංහ මහතා, ව්‍යාපෘති කළමනාකරු මහින්ද රණසිංහ මහතා, අභ්‍යන්තර විගණක හිග්ගොඩ මහතා, නාවුල කලාප කළමනාකරු කලණ දම්පිය මහතා, ව්‍යාපෘති උපදේශක තුෂාර නයනානන්ද මහතා සහ මානව සම්පත් නිලධාරී විරාජ් මහතා සහභාගී වූහ.

සටහන – ඊ.එස්. අනුත්තරා, මාධ්‍ය නිලධාරි, මහවැලි උපදේශන කාර්යාංශය, වාරි මහිමඅපේ උරුමය වැඩසටහන

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *