භූතානයේ පැවති ගෝලීය සමුළුවේදී තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානය පිළිබඳ අග්‍රාමාත්‍යවරිය ලොවට කියයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 2026 සැප්තැම්බර් 01 දින භූතානයේ ඩුන්ග්කාර් ඩ්සොංහිදී “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ පැවති සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවෙහි (Global Conscious Food Systems Summit – GCFSS) ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවාය. “
2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුව (Global Conscious Food Systems Summit – GCFSS) , තිරසාර, සාධාරණ සහ පුනර්ජනනීය ආහාර පද්ධති ඉදිරියට ගෙන යාම සඳහා දැනුවත්භාවය, සමාජ වටිනාකම්, සංස්කෘතිය, අධ්‍යාත්මිකත්වය සහ අභ්‍යන්තර පරිවර්තනයේ කාර්යභාරය පිළිබඳ අවධානය යොමු කරමින් පවත්වනු ලබන ගෝලීය සමුළුවක් වන අතර භූතාන රජය, Conscious Food Systems Alliance (CoFSA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව “ආහාර පද්ධති පරිවර්තනය සක්‍රීය කිරීම” (Activating the Heart of Food Systems Transformation) යන පුළුල් තේමාව යටතේ සංවිධානය කර ඇත.
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුව අමතමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලාංකිකයින් ලෙස පරම්පරා ගණනාවක් පුරා ආහාර නිෂ්පාදනයේ සිට ගබඩා කිරීම, සංරක්ෂණය සහ පරිභෝජනය දක්වා සෑම අදියරකදීම සොබාදහම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ අවබෝධ කරගෙන එම උරුමය ඉදිරියටත් ගෙන යාම පිළිබඳව ශ්‍රී ලාංකිකයකු ලෙස තමන් මහත් ආඩම්බරයට පත්වන බව පැවසුවා ය.
ප්‍රධාන දේශනයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, භූතානයේ අග්‍රාමාත්‍ය දාෂෝ ෂෙරින් ටොබ්ගේ (Dasho Tshering Tobgay) මහතා සමඟ “වඩාත් සාධාරණ හා පුනර්ජනනීය ලෝකයක් සඳහා පරිවර්තනයට මඟ පෙන්වීම සඳහා නායකත්වය” (Conscious Leadership – The Art of Facilitating Transformation for a More Just and Regenerative World) යන තේමාව යටතේ පැවති සාකච්ඡාවකට ද සහභාගී වූවාය.
ශ්‍රී ලංකාවේ පාරම්පරික ආහාර පද්ධති තිරසාරභාවය සහ සමතුලිතතාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් මත පදනම්ව පැවති බවත්, සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමවේද ස්වභාවධර්මයට එරෙහිව නොව, එය සමඟ සහජීවනයෙන් ක්‍රියා කිරීමට සැලසුම් කර තිබූ බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.
සාකච්ඡා මණ්ඩපයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට ද සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ආහාර සුරක්ෂිතතාව, හොඳම කෘෂිකාර්මික භාවිතයන්, කාන්තා රැකියා නියුක්තිය සහ තිරසාර සමාජ හා ආර්ථික සංවර්ධනය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නාය.
මෙම සමුළුව මඟින්, තිරසාර ආහාර පද්ධති, සියලු දෙනා ඇතුළත් සංවර්ධනය සහ වර්තමානයේ ලෝකය මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීමේදී දැනුවත්භාවයෙන් යුත් නායකත්වයේ කාර්යභාරය පිළිබඳ ශ්‍රී ලංකාවේ අදහස් හා අත්දැකීම් ලෝකය හමුවේ ඉදිරිපත් කිරීමට වැදගත් වේදිකාවක් සපයනු ලැබීය.


