කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ සහ කෘෂිකර්ම සහ පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න  සහභාගීත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලයේදී පසුගිය දා පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ජගත් ගුණවර්ධන, නීතිඥ ගීතා හේරත්, එම්. කේ. එම්. අස්ලම් සහභාගී වූහ.

රාජ්‍ය ආයතන නියෝජනය කරමින් දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වනජීවී, වන සංරක්ෂණ, භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟද අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ගොවි ජනතාවගේ අවශ්‍යතා සහ පරිසර සංරක්ෂණය දෙකම සැලකිල්ලට ගනිමින්, දිස්ත්‍රික්කයේ වාරිමාර්ග පද්ධතිය සහ වාරිමාර්ග යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදාළ ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් නිකවැරටිය මාගල්ල වැව ජල පෘෂ්ඨ සූර්ය බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ නිකවැරටිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය ඉදිකිරීම සම්බන්ධවත් අදහස් ඉදිරිපත් කෙරිණි.

කහල්ල පල්ලේකැලේ අභයභූමිය තුළ ඉදිකිරීමට නියමිත ඇස්තමේන්තු නොකළ වැව් සඳහා ඇස්තමේන්තු කඩිනමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අවසන් කිරීම සහ එම වැව් වයඹ ඇළ ව්‍යාපෘතිය හරහා ඉදිකිරීම සිදු කිරීම මෙන්ම, ගොරකපැලැස්ස වැවේ වැඩ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධවත් සාකච්ඡා කෙරිණි.

මහගල්ගමුව පෝෂිත ඇළ ඉදිකිරීමේ ප්‍රගතිය සොයා බැලුණු අතර, දැනට මතු වී තිබෙන ගැටලු සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.

දැදුරු ඔය ධීවර සංවිධාන වල මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානවලට විදුලිය ලබා ගැනීම සහ ඇසිත්තන් ඇගිල්ලන් කිරීම සඳහා මඩ පොකුණු තෝරාගත් ස්ථානවල දැදුරුඔය ජලාෂය ආශිතව ස්ථාපිත කිරීම සම්බන්ධවද අදහස් හුවමාරු විය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *