
අනුරාධපුර දිස්ත්රික්කයේ පවතින වැව් පද්ධතිය වඩාත් විධිමත් ලෙස යථා තත්ත්වයට පත් කිරීම, ප්රතිසංස්කරණය කිරීම සහ ප්රමුඛතා පදනම මත සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (15) අනුරාධපුර දිස්ත්රික්ක් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මූලික සාකච්ඡාවේ දිගුවක් ලෙස පැවති මෙම සාකච්ඡාව සඳහා දිස්ත්රික් දේශපාලන නියෝජිතයින් මෙන්ම දිස්ත්රික් ලේකම්වරයා ඇතුළු වගකිවයුතු අදාළ රජයේ ආයතන නියෝජියින් පිරිසක් ද සහභාගී වූහ.
පසුගිය සාකච්ඡාවේදී අවධානය යොමු වූ වැව් ලැයිස්තුගත කිරීම සහ නිවැරදි සංඛ්යාලේඛන ලබාගැනීම වෙනුවෙන් විවිධ ආයතන මගින් රැස්කළ දත්ත සමාලෝචනය කරමින්, දිස්ත්රික්කය තුළ පවතින වැව් සංඛ්යාව පිළිබඳ පැහැදිලි නිරවුල් තත්ත්වයක් ඇති කර ගැනීමට පියවර ගෙන ඇත. ඒ අනුව දැනට හඳුනාගත් වැව් 3,500කට වැඩි ප්රමාණයක් පිළිබඳ ලැයිස්තුවක් පදනම් කරගනිමින් ඉදිරි කටයුතු සැලසුම් කෙරේ.
ප්රතිසංස්කරණ සහ ජල ධාරිතාව වැඩි කිරීම වෙනුවෙන් වැව් හෑරීම (රොන් මඩ ඉවත් කිරීම) සහ ජල ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම, යම් ප්රමාණයකට ප්රතිසංස්කරණය කළ යුතු වැව් හඳුනාගෙන ඒවා ඉදිරි අයවැය ප්රතිපාදන හරහා ප්රමුඛතාවය ලබාදී සංවර්ධනය කිරීමට තීරණය විය.
මීට අමතරව ග්රාමීය මට්ටමින් අතහැර දමා ඇති වැව් ආර්ථික කටයුතු සඳහා යොදාගැනීම වෙනුවෙන් වැව් ප්රතිසංස්කරණය කරමින් ඒවා මිරිදිය ධීවර කර්මාන්තය, සංචාරක ව්යාපාරය, මල් වගාව (උදා: අපනයන ඉලක්ක කරගත් මානෙල් මල් වගාව) වැනි ආර්ථික උත්පාදන කටයුතු සඳහා සමුපකාර මොඩලයක් යටතේ ප්රජාව සම්බන්ධ කරගනිමින් භාවිතා කිරීමේ හැකියාව පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව හරහා ඉදිරි වසර සඳහා වන සැලසුම් සකස් කරමින්, දිස්ත්රික්කයේ වාරි පද්ධතිය මෙන්ම ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සියලු ආයතන එක්ව කටයුතු කිරීමට එකඟතාවයට පැමිණෙන ලදී.

