
බඩඉරිඟු යනු, ශ්‍රී ලංකාවේ වී වගාවට පමණක් දෙවෙනි වන මිනිසාගේ පරිභෝජනයට මෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදනයට ද යොදා ගන්නා ධාන්‍ය බෝගයකි.
වියළි කලාපයේ අනුරාධපුර, මොනරාගල හා අම්පාර වැනි දිස්ත්‍රික්ක වල මහා පරිමාණයෙන් බඩඉරිඟු වගාව සිදුකරයි. නමුත් වගාවේ උපරිම ඵලදායිතාව ළඟාකර ගැනීමට ඇති අභියෝග අතර වල් පැළෑටි මගින් ඇතිවන බලපෑම අතිමහත්ය.
බඩඉරිඟු වගාව ආරම්භකර පළමු දින 30 – 45 අතරේ දී වල්පැළෑටි වලට සංවේදී අවධියවේ. මෙම කාලසීමාවේදී වල් පාලනය නිසි ආකාරයට කරගැනීමට නොහැකි වුවහොත් 30% – 50% ක පමණ අස්වනු හානියක් පවා සිදුවීමට හැකියාව ඇත. එයට හේතුව පෝෂණය, පාංශු තෙතමනය හා සූර්යාලෝකය වැනි සාධක සඳහා බඩඉරිඟු ශාකයට වල්පැළෑටි සමග තරඟ කිරීමට සිදුවීමයි. එය ශාකයේ වර්ධනයට පමණක් නොව බීජ පිරීම සඳහා ද බලපානු ලබයි.
සාම්ප්‍රදායික වල්පැළ පාලනයේ දී අතින් උදුරා ඉවත් කිරීම, උදලු ගෑම හා නැප්සැක් දියර ඉසින යන්ත්‍ර මගින් වල් නාශක යෙදීම ගොවියා විසින් අනුගමනය කරයි.
නමුත් මෙම ක්‍රම සඳහා,
- අවශ්‍ය කම්කරු ශ්‍රමය සපයා ගැනීමේ අපහසුතාවය
- එම ශ්‍රමය සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම
- වල්නාශක ඉසීමට වැඩි කාලයක් ගතවීම
- යොදන ටැංකි ප්‍රමාණය අනුව වැඩි ජල ප්‍රමාණයක් සපයාගත යුතුවීම
- වැඩි වේලාවක් හා වැඩි ටැංකි ප්‍රමාණයක් එකම අයෙකු විසින් ඉසීම සිදුකරන විට ඔහුගේ සෞඛ්‍යයට එය අහිතකරවීම
යන ගැටලු සියල්ලටම විසඳqමක් ලෙස” ඩ්‍රෝන තාක්ෂණය” එසේ නොමැතිනම් නියමුවෙකු නොමැති දුරස්ථ පාලනය මගින් හෝ පරිගණක මෘදුකාංගයක් මගින් ස්වයංක්‍රීයව පියාසර කළ හැකි යානා භාවිතා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන් විසින් පර්යේෂණ සිදුකරන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මේ සඳහා අවශ්‍ය නිර්ණායකයන් සොයාගන්නා ලදී.
සුහුරු කෘෂිකර්මාන්තය තුළින් කෘෂි ව්‍යවසායකත්වය යන තේමාව යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 28 වන වාර්ෂික සම්මේලනයේදී (ASDA) මෙම නිර්ණායකයන් එළිදැක්වීම සිදුවිය. එය මහා පරිමාණ බඩඉරිගු වගාකරුවන්ට ඉතා සතුටුදායක පණිවිඩයක් බව නොඅනුමානය.
තාක්ෂණික තොරතුරු – ආචාර්ය එච්. එම්. ස්වර්ණා හේරත් මෙවි, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, මහඉලුප්පල්ලම
සංස්කරණය – ඩබ්. එම්. පෙමිලා ජයරත්න, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව

