දිට්වා ආපදාවෙන් විනාශ වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය දෙගුණයකට ආසන්න ජල ධාරිතාවයකින් යළි පණ ලබයි

ස්ථිර ප්‍රතිසංස්කරණ අවසන් අදියරේ,  එළඹෙන මහ කන්නය වෙනුවෙන් ඉදිරි දින කිහිපයේදී දියවර නිකුත් කිරීමට පියවර.

දිට්වා ආපදාවෙන් හානියට පත්වූ බදුලු ඔය වාරි ව්‍යාපාරයේ ස්ථීර ප්‍රතිසංස්කරන කටයුතු  පසුගිය ජුනි 05 වන දා ආරම්භ කරන ලදි. ඒ අනුව පසුගියදා  මෙහි වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගියදා එම ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. ඒ සඳහා කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ රත්නායක, කන්දකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඉසුරි නදීෂා චතුරානී යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

1944 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම බදුලු ඔය වාරි ව්‍යාපාරය ආශ්‍රිතව ඉතිහාසයේ සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන කටයුත්ත මෙය වන අතර, ඒ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 350 කි. ආපදාවෙන් පසු ගොවි ජනතාව මුහුණ දුන් දැඩි අර්බුදයට පිළියමක් ලෙස ජනවාරි මාසයේදී වැලිකොට්ට යොදා තාවකාලිකව දියවර ලබාදීමට පියවර ගත් අතර, අනතුරුව ජූනි මාසයේ සිට ආරම්භ වූ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු යටතේ ප්‍රධාන ඇළ මාර්ගයේ කිලෝමීටර් 02 ක දුරක් කොන්ක්‍රීට් ආස්තරණය කර සම්පූර්ණයෙන්ම පිළිසකර කර ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සීමිත සේවක පිරිසක් සහ ඉංජිනේරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය නිවාඩු නොලබා දිවා රෑ කැපවීමෙන් කටයුතු කර මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ මෙම දැවැන්ත ව්‍යාපෘතිය අවසන් කිරීමට සමත්ව තිබේ.

අක්කර 1,775 කට අධික වගාබිම් ප්‍රමාණයකට ජලය සපයන මෙම ව්‍යාපාරය ප්‍රතිසංස්කරණය වීමත් සමඟ, මින් පෙර පැවති ජල හිඟයට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇත.

එමෙන්ම පෙර පැවති ධාරිතාව මෙන් දෙගුණයකට ආසන්න ජල ප්‍රමාණයක් රැගෙන යාමට හැකියාව ලැබෙන බැවින්, ප්‍රදේශයේ ගොවි පවුල්වලට යල සහ මහ කන්නයන්ට අමතරව තවත් අතුරු කන්නයක් ද ඇතුළුව කන්න තුනක් සාර්ථකව වගා කිරීමට අවස්ථාව උදා වන අතර, එමඟින් කන්දකැටිය ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ආර්ථිකය හා ජීවනෝපාය ශක්තිමත් වනු ඇත.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *