
ඕනෑම කාලගුණික විපර්යාසයන්ට ගොදුරු වීමේ අවදානම කළමනාකරණය කිරීමට අවශ්‍ය පිළියම් ගනිමින් සියලුම බෝග සඳහා අඩු වාරික යටතේ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රම ගොවීන් වෙත හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (12) දින නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.
දැනට පවතින කාලගුණික විපර්යාසයන්ට මුහුණදීමට ගොවීන්ට සිදුවන අතර එමඟින් ඔවුන්ගේ වගාවන් විනාශ වී ආදායම් අහිමිවීම මෙන්ම රටට නිෂ්පාදනයන් අහිමිවීම සිදුවේ. විශේෂයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ගොවීන් පෙලගැස්වීම සිදු කල යුතුවේ. ඒ සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩි ප්රතිලාභ සහිත රක්ෂණ යෝජනා ක්‍රම ගොවීන් වෙත හඳුන්වාදී ඇත.
මෙහිදී වී, බඩ ඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූණු, සෝයා යන වගාවන් සඳහා ගංවතුර, නියඟය ආදී ස්වභාවික විපත්, වන අලිහානි, කෘමිහානි ,රෝග හානි, යන අවදානම් ආවරණය කරමින් අක්කර 01 කට රු.6400/- ක වාරිකයක් ගෙවා රක්ෂණාවරන ලබාදීම සිදුකරන අතර එම හානි වලදී රු.100,000/- වන්දි මුදලක් ලබා ගැනීමේ හැකියාව ඇත.
මීට අමතරව ක්ෂේත්‍ර බෝග වන කව්පි, මුං ඇට, උඳු, කුරක්කන්, රටකජු, තල, කොල්ලු ආදී බෝග සඳහා රක්ෂණය කිරීමට අක්කරයක් සඳහා වැයවෙන්නේ රු.4200/- වැනි ඉතා අවම වාරික මුදලක් වේ. මේ මඟින් නියඟය, ගංවතුර, වන අලි, කෘමි හානි, ගිනි හානි හා රෝග වලින් සිදුවන සියලුම හානි සඳහා රක්ෂණ ආවරණ ලබාගත හැකි වේ.
මේ අනුව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම කාලගුණික දේශගුණික විපර්යාසයන් මඟින් සිදුවන විපත්වලට මුහුණ දීමට හැකි වන පරිදි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවීන්ට දැරිය හැකි ඉතා සහනදායී වාරික මුදල් යටතේ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වාදී ඇත.
වැඩිදුර විස්තර 1918 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් හා කෘෂි රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල ඇමතීමෙන් ලබාගත හැකිය.

