දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වැඩපිළිවෙළක්

ගව හා මී ගව ගහනය අඩුවීමෙන් දේශීය දියර කිරි නිෂ්පාදනයට ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මගින් සතුන්ගේ ඵලදායිතාව සහ ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවෙන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඒ අනුව, ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන (Dairy Hub) ක්‍රියාත්මක කිරීම මගින් ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීම, උසස් ආරයේ සතුන් බිහි කිරීම සඳහා කෘත්‍රිම සිංචන සේවා සහ අභිජනන කළමනාකරණය වැඩිදියුණු කිරීම, සතුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා තණ හා ආහාර නිෂ්පාදනය සහ සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම, සත්ව රෝග පාලනය වැළැක්වීම සහ පශු වෛද්‍ය සේවා ශක්තිමත් කිරීම, ගොවිපල කළමනාකරණය, සත්ව සුභසාධනය සහ කිරි නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ගොවීන් සඳහා පුහුණුව, තාක්ෂණික උපදෙස් සහ ව්‍යාප්ති සේවා ලබා දීම ආදි ක්‍රියාමාර්ග ගෙන තිබෙයි.

මෙම ක්‍රියාමාර්ග මගින් එක් සතෙකුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය සහ සමස්ත ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීමෙන් දේශීය දියර කිරි නිෂ්පාදනය වර්ධනය කිරීම අපේක්ෂා කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එළ ගව හා මී ගව ගහනය අඩු වීම, දියර කිරි නිෂ්පාදනයට බලපෑ හැකි නිසා සතුන්ගේ ඵලදායිතාව සහ ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීම මගින් එම බලපෑම අවම කළ හැකි බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, 2015 වර්ෂයට සාපේක්ෂව සැලකූ විට 2025 වර්ෂයේදී එළ ගව හා මී ගව ගහනය අඩු වී නොමැති නමුත්, 2021 වර්ෂයෙන් පසු එළ ගව හා මී ගව ගහනයේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද කිවේය.

2015දී 1,227,379 ක් වූ එළ ගවයන් සංඛ්‍යාව, 2025දී 1,525,717ක් දක්වා වැඩි වූ බවත්, 2015දී 381,431ක් වූ මී ගවයන් සංඛ්‍යාව 2025දී 448,606 ක් දක්වා වැඩි වූ බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව, 2021 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ගව හා මී ගව ගහනය අඩුවීමක් දක්නට ලැබුණ ද, එම කාලය තුළ සමස්ත දියර කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ අඩුවීමක් වාර්තා වී නොමැති බව පෙන්වා දුන්නේය.

2023 වර්ෂයේ ලීටර් මිලියන 371.73ක් වූ සමස්ත දියර කිරි නිෂ්පාදනය 2025 වර්ෂයේදී ලීටර් මිලියන 410.16ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *