
කිරි ගොවීන් මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේය.
අමාත්යවරයා පැවසුවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැවීමේ අවශ්යතාවක් ද රට හමුවේ පවතින බවයි.
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශය මඟින් සිදු කරන Dairy Hub වැඩසටහනට සමගාමීව කොටගල ප්රදේශයේදී කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී.ලාල් කාන්ත මහතා කිරි ගොවිපළවල් නිරීක්ෂණයක් සහ විශේෂ ගොවි හමුවක් පසුගිය දා පවත්වනු ලැබීය.
කිරි ගොවියන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අමාත්යාංශයේ පශු සම්පත් අංශය කටයුතු කිරීම පිළිබඳව සහ ගොවි ජනතාව ඍජුවම මුණ ගැසී අදහස් යෝජනා ලබා ගැනීම ද මෙහිදී සිදු කරන ලදී.

කිසිදු අමාත්යවරයෙක් මෙලස තමන්ගේ ගොවිපළවල් වලට පැමිණ නොමැති බවත් තමන් දිරිමත් කිරීම සහ අමාත්යාංශයේ මැදිහත් වීම පිළිබඳව ගොවි ජනතාව ඉතා ප්රසංසාවෙන් අදහස් ප්රකශ කළ අතර කිරි ගොවිපළවල් නඟාසිටුවීම වෙනුවෙන් විශේෂ චෙක් පත් ප්රදානයක් ද මෙහි දී සිදු විය.
මෙම ගොවි හමුවේ දී අමත්යවරයා මෙසේ අදහස් ඉදිරිපත් කළේය, “ලංකාවේ වැඩිම කිරි නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නුවරඑළිය දිස්ත්රික්කයේ. ඒ සඳහා අපේ පශු සම්පත් නිලධාරීන් විශාල කැපකිරීමක් කරලා තියෙනවා. මේ කැප කිරීම කරලා තියෙන්නේ විශාල දුෂ්කරතා මැද්දේ. විශේෂයෙන් නිලධාරීන් හිඟයි. ඒ වගේම අපේ කිරි ගොවියොත් විශාල අපහසුකම් මැද පශු සම්පත් ක්ෂේත්රයේ නියැලිලා ඉන්නවා.
අපි අද ගව ගාල් කිහිපයක් නිරීක්ෂණය කළා. එතන දී ඔවුන්ට තිබුණු විශාලම ගැටලුව තමයි සත්ත්ව ආහාර, විශේෂයෙන් තණකොළ වගා කර ගැනීමට ඉඩම් නොමැතිකම. ඒ නිසා සත්ත්ව ආහාර ගැන ගැටලුවක් පැන නැගිලා තියෙනවා. ඒ නිසා අපි තීරණය කළා ඉඩම් හිමියන් සමඟ මේ ගැන සාකච්ඡා කරන්න. සමහරුන්ට තිබුණා ණය ලබා ගැනීම පිළිබඳ ප්රශ්න. දැනට අපේ අමාත්යාංශයේ ණය ලබා දෙන වැඩසටහනක් තියෙනවා.
අපේ කිරි ගොවීන් බොහෝ දෙනෙක් කිරි ලබා දෙන්නේ මිල්කො එකට. මම ඇහුවම කිව්වා ලැබෙන මිල හොඳයි ද කියලා. කිරි ගොවීන් කියන්නේ ජාතික කර්තව්යක් ඉටුකරන පිරිසක්. පශු සම්පත් ක්ෂේත්රයේ සත්ත්ව හා සෞඛ්ය දෙපාර්තමේන්තුව, පළාත් සත්ව හා සෞඛ්ය දෙපාර්තමේන්තුව, මිල්කෝ ආයතනය, වගේම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය තියෙනවා. අපි එන කොට මිල්කෝ සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විකුණන්න තීරණය කරලා තිබුණේ. නමුත් අපි ආවට පස්සේ ඒ තත්ත්වය වෙනස් කළා.
අපි දැනට රටේ කිරි අවශ්යතාවයෙන් නිෂ්පාදනය කරන්නේ සියයට හතළිහක් විතර. ඉතිරි ප්රමාණය පිටරටින් ගෙන්වනවා. අපිට අවශ්යතාවය තියෙනවා කිරි නිෂ්පාදනය ඉහළ නංවන්න.
අපි දැන් වැඩිපුර ප්රෝටීන් ආහාර ලබාගත යුතුයි. තවමත් වැඩිපුර ගන්නේ කාබෝහයිඩ්රේට් සහිත ආහාර. ඒ නිසා අපි ප්රෝටීන් සහිත ආහාර පරිභෝජනය ඉහළ නැංවිය යුතුයි. පශු සම්පත් ක්ෂේත්රය තුළ ලොකු ඉඩක් පවතිනවා. මේ සඳහා රජය විශේෂ අවධානය යොමු කරනවා.”

