
ශ්‍රී ලංකාවේ නවීකරණය නොවුණ ප්‍රධාන ක්ෂේත්රයක් ලෙස කෘෂිකර්මාන්තය සැලකිය හැකි බවත් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතර, වැලිපිටිය පොල්අතුමෝදර ගඟ හරස්කර ඉදිකර ඇති ඉල්වත්ත අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අද (02) පැවැති උත්සවයේ දීය.
මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය අක්රම් ඉලාරෙස් ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගොවි ජනතාවට සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා, “අපිට අක්කරයකට බුසල් 30ක් අරන් මදි, 50ක් අරගෙනත් මදි. මම මේ දවස්වල බැනුම් අහන කතා තියෙනවා. අක්කරයකට බුසල් 30ක් 40ක් ගන්නවා නම් එ්ක වගා කරන්නේ නැතුව ඉන්න එක හොඳයි කියලා. මම මේ ළඟදී ගියා වලව මහවැලි කලාපයේ රැස්වීමකට. එහෙ ගොවි මහත්වරු ඉන්නවා අක්කරේට බුසල් 200ට වඩා ගන්න අය. ඒ අය කෑ ගහන්නේ නෑ අක්කරයකට බුසල් 30ක් 40 ගන්න අය තරම්. ඒ අය 120 මදි කියන්නේ නෑ. මදි කියන්නේ අස්වැන්න මදි අය. අක්කරයට 100ට අඩුවෙන් නම් ගන්නේ ඒ අයගේ පිරිවැය වැඩි. ඒ අය කියනවා 120 මදී කියලා. අම්පාරෙත් 140ට වඩා ගන්නවා. ඒ අය 120 මදී කියන්නේ නෑ. ඒ අය කියන්නේ 120ට අපෙන් ගන්න කියලා.
මොකද ගැනීමේ පහසුකම් අපිට තාම ප්‍රමාණවත් නෑ. නවීකරණය නොවෙච්ච ලංකාවේ ප්‍රධානම ක්ෂේත්රයක් තමා කෘෂිකර්මාන්තය. අපි ගොඩක් පසුගාමි මට්ටමක ඉන්නේ. නවීකරණය නොවුණ ලංකාවේ ප්‍රධාන ක්ෂේත්රයක් තමයි කෘෂිකර්මාන්තය. දේශපාලන ක්ෂේත්රයේ අපි බොහොම පසුගාමී තැනක හිටියා. නමුත් ජනතාව එකතු වෙල ඒක වෙනස් කළා. නමුත් කෘෂිකාර්මික සංස්කෘතියේ අපට ලොකු වෙනස්කම් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි එක තැනක සිට තවත් තැනකට පරිවර්තනය වෙන රටක් හැටියට තමයි දැන් ඉන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ පරිවර්තනීය යුගයක.
අපි ආණ්ඩුවට මුකුත් බෙදා ගෙන නැහැ. ඉස්සර අයවැයක් එනකොට කියන්නේ මොකක්ද ?, ඉහළට බෙදා ගන්නවා. ආණ්ඩුවට බැකෝ එකෙන් බෙදා ගෙන ජනතාවට කන් හැන්දෙන් බෙදනවා. නමුත් දැන් ඒකේ අනෙක් පැත්ත සිද්ධ වෙලා තියෙන්නේ. බෙදන තරමක් බෙදන්නේ ජනතාවට, ජනතාවට බෙදන්නේ බැකෝ එකෙන්, ඉහළට කන් හැන්දෙන්වත් නැහැ. මෙහෙම ආණ්ඩු මීට කලින් ලංකාවේ තිබිලා නැහැ. රටේ ජනතාවට හැම සතයක්ම වියදම් කරන ආණ්ඩු මීට කලින් මේ රටේ තිබිලා නැහැ.
තාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාහනයක් දීලා නැහැ. ඉස්සර පාර්ලිමේන්තු ගිය ගමන් වාහන පර්මිට් ඒක දෙනවා. ඒකෙන් තමයි පටන් ගන්නේ.
නමුත් අපිට ආර්ථිකයේ, දේශපාලනයේ සහ සංස්කෘතියේ පරිවර්තනයක් ඇති කර ගන්න සෑහෙන්න කැප වෙන්න වෙනවා. ඒ ආර්ථික පරිවර්තනයේ දී ආණ්ඩුව සහ රාජ්‍ය සේවය තකට තක එකට දුවන්න ඔ්නෑ. ඒක කරන්නේ නැතිව මේ රට ගොඩදාන්න බැහැ.
සමහර තැන්වල ඒක එහෙම නැහැ. අපි හිතමු පාරේ පැයට කිලෝ මීටර 60ක වේගයෙන් ලොරියක් යනවා කියලා, නමුත් පාර පටුයි. පැය කිලෝ මීටර් 200ක වේගයෙන් යන්න අවශ්‍ය කරන අපේ සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා යනවා පිටිපස්සෙන්. අර ලොරිය පැයට කිලෝ මීටර් 200ක වේගවෙන් ගියේ නැතිනම් සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමාටත් යන්න වෙන්නේ ලොරිය යන වේගෙන්. සමහර තැන්වල සංවර්ධනය යන්නේ අන්න එහෙම.
ඡන්ද නැති වෙයි කියලා ගොවි මහත්වරුන්ට යම් යම් දේවල් නොකියා බැහැ, ඡන්ද නැති වෙයි කියලා රාජ්‍ය සේවයේ සමහර තැන්වල කියන්න අවශ්‍ය දේ නොකියා බැහැ. එහෙම නොකිව්වොත් අපට මේ රට හදා ගන්න, සංවර්ධනය කර ගන්න, පරිවර්තනය කර ගන්න නොහැකි වෙනවා”.


