

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (04) දින ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 24.7ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ගොරගහ වැව ආශ්රිත ගොවි ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ස්ථාවර ජල සැපයුමක් ලබාදීම අපේක්ෂා කෙරේ. එමඟින් ප්‍රදේශයේ පලතුරු, එළවළු සහ අතුරු බෝග වගාවන් තවදුරටත් ව්‍යාප්ත කරමින් ගොවි ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
වැවෙහි ජල ධාරිතාව ඉහළ නැංවීමත් සමඟ අතුරු බෝග වගාව සඳහා භාවිත කළ හැකි භූමි ප්‍රමාණය අක්කර 70ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරන අතර, එමඟින් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම ප්‍රදේශයේ ජල කළමනාකරණය සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමටද දායකත්වයක් සැලසෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා හම්බන්තොට ප්‍රාදේශීය සභාපති සුමිත් කුමාර මහතා, “වාරි මහිම – අපේ උරුමය” වැඩසටහනේ අධ්යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා, ප්‍රධාන තාක්ෂණික උපදේශක ඩබ්ලිව්. බී. පලුගස්වැව මහතා, හම්බන්තොට වාරිමාර්ග ඉංජිනේරු ආර්. එම්. ටී. මාලා සමරක්කොඩි මහත්මිය, මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාර වසන්ත කුමාර මහතා, දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු ඩබ්. ඒ. බී. එස්. ප්‍රදීප් කුමාර මහතා, හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස්තුමන්, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ආර්. පී. ඩබ්. ප්‍රසංගිකා මහත්මිය, අම්බලන්තොට ප්‍රාදේශීය සභාපති විපුල විජේදාස මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.


සටහන – ඊ.එස්. අනුත්තරා, මාධ්‍ය නිලධාරි, මහවැලි උපදේශන කාර්යාංශය, වාරි මහිම – අපේ උරුමය වැඩසටහන

