SMART Irrigation System Project: ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරන ලද SMART Irrigation System Project යටතේ, ගොවීන්ගේ වගා කටයුතු සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප සහ ඒ ආශ්‍රිත වාරිමාර්ග පහසුකම් ලබාදී ඇත. අදාළ ප්‍රතිලාභී ලැයිස්තුව අනුව, කුච්චවේලි, නිලාවේලි, මුතූර්, වාන්ඇල, කින්නියා, සාම්පූර් සහ පදවි ශ්‍රීපුර ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අයත් ගොවීන් 48 දෙනෙකු මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර ගොවීන් බොහෝ දෙනෙකුට වගාවට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා ඩීසල්, භූමිතෙල් හෝ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප භාවිත කිරීමට සිදුව තිබුණි. ඉන්ධන හා විදුලි වියදම්, නඩත්තු ගැටලු සහ ප්‍රමාණවත් ලෙස ජලය ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් වගා කළ හැකි භූමි ප්‍රමාණය සහ ගොවීන්ගේ ආදායම සීමා වී තිබූ බව ප්‍රතිලාභී වාර්තාවල දැක්වේ.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප ලබාදීමෙන් පසු, ගොවීන්ට වගා බිම් සඳහා වඩාත් පහසුවෙන් හා නියමිත පරිදි ජලය සැපයීමට හැකි වී තිබේ. එමඟින් ඉන්ධන හා විදුලි වියදම් අඩු කිරීම, නිෂ්පාදන පිරිවැය පාලනය කිරීම, පෙර වගා නොකළ ඉඩම් වගාවට එක් කිරීම සහ වගා කටයුතු සැලසුම් සහගතව සිදු කිරීම සඳහා අවස්ථාව ලැබී ඇත. නිලාවේලි ප්‍රදේශයේ ප්‍රතිලාභී වාර්තා අනුව, සූර්ය බල පද්ධති ලැබීමෙන් පසු ජල සැපයුම පහසු වී, කෘෂිකාර්මික නිෂ්පාදන වියදම් අඩු වී ඇත.

කින්නියා ප්‍රදේශයේ ගොවීන්ගේ තොරතුරු අනුව සූර්ය බල ජල පොම්ප භාවිතය හේතුවෙන් ඉන්ධන හා විදුලි වියදම්වලින් තොරව රටකජු, මඤ්ඤොක්කා, වම්බටු සහ අනෙකුත් බෝග වගා කිරීමට හැකි වී ඇති බව වාර්තා වී ඇත. වාන්ඇල සහ සාම්පූර් යන ප්‍රදේශවල වාර්තා ද වගා බිම් පුළුල් කිරීම, විවිධ බෝග වගා කිරීම සහ වගා කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම පහසුකම ප්‍රයෝජනවත් වී ඇත.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට හෝ අදාළ සේවාවන් සම්බන්ධයෙන් විමසීම සඳහා ප්‍රදේශයේ ගොවීන් තම ප්‍රදේශයට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථානය හෝ ත්‍රිකුණාමලය, ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලය සම්බන්ධ කරගත හැකිය.

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *