
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සිය ඉතිහාසය අලුත් කරමින් මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව තිබේ.
මාස හයක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි වාර්තාගත මූල්‍ය ඉලක්කයක් සපුරා ගැනීමට හැකිවීම එම ආයතනය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.
මෙලෙස ඉහළ මූල්‍ය ලාභයක් අත්කර ගන්නා අතරම, සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීම උදෙසා ද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කැපවීමෙන් කටයුතු කරයි. ආයතන පද්ධතිය තුළ පවතින නිවැරදි නායකත්වය සහ සියලුම නිලධාරීන්ගේ හා සේවකයන්ගේ කැපවීම මත පදනම්ව ආයතනයේ ලාභදායීතාව දිනෙන් දින ඉහළ යමින් පවතී.
වර්ධනයට බලපෑ ප්‍රධාන සාධක:
- කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තෘණ සහ බඩඉරිඟු වගාවන් සාර්ථකව ව්‍යාප්ත කිරීම.
- ඌණ උපයෝජිත සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් අමතර ආදායම් මාර්ග උත්පාදනය කිරීම.
- නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම (Value Addition) සහ නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීම.
- කාලීන වැදගත්කමකින් යුත් නව ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම.
මෙම වාර්තාගත ලාභය සඳහා වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ මණ්ඩලය යටතේ පවතින අභිජනන කුකුළු ගොවිපොළවල් ය. ඒ අතරිනුත් කරඳගොල්ල, මිරිස්වත්ත සහ මාවත්ත යන බොයිලර් කුකුළු අභිජනන ගොවිපොළවල් ලබා දුන් දායකත්වය සුවිශේෂී වේ.
එසේම, පසුගිය කාලසීමාවේදී වෙළෙඳපොළ තුළ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගිය අවස්ථාවේදී, පාරිභෝගිකයා සූරාකෑමෙන් ආරක්ෂා කරමින් වෙළෙඳපොළ මිල ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට ද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මැදිහත් වී සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.
නිවැරදි කළමනාකරණය සහ සැලසුම් සහගත වැඩපිළිවෙළක් හරහා රාජ්‍ය ආයතනයක් වුවද සාර්ථක ලෙස ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බවට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය තැබූ මෙම පූර්වාදර්ශය අගය කළ යුතුය.
සංස්කාරක සටහන – කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ සටහනකි.

