නිවැරදි වගා පිළිවෙත් තුළින් එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට අපි සූදානම් වෙමු

ලෝකය පුරාම මේ වන විට ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාසයන් හමුවේ ශ්‍රී ලංකාවේ ද සමහර දිස්ත්‍රික්ක දැඩි වියළි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටියි. මෙම තත්ත්වය ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවයක් ඇති බවට කාලගුණ අනාවැකි ඉදිරිපත් වී ඇත. එමගින් වියළි කාලගුණික තත්ත්වය 2026 සැප්තැම්බර් මාසයේ අවසාන කාලය දක්වා පවතින අතර එම දැඩි වියළි තත්ත්වයන් වෙනස් වී ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී ඉහළ වර්ෂාපතනයක් ලැබෙන බව ද, 2027 මුල් කාර්තු දෙක තුළ දී තීව්‍ර වියළි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ද පුරෝකථනය කර ඇත.

අම්පාර, මොනරාගල, බදුල්ල, හම්බන්තොට, මඩකලපුව, අනුරාධපුර හා පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලට මේ වන විට පවතින අධික ජල හිඟතාවය නිසා මිනිසාට හා සතුන්ට බීමට ඇති ජලය පවා සීමිත වී ඇත. එම තත්ත්වයන් හමුවේ කෘෂිකාර්මික වගාවන් පවත්වා ගෙන යාම ද විශාල අභියෝගයකි. එනිසා ඉදිරියේ දී විශේෂයෙන් එළවළු, පලතුරු, අතිරේක ආහාර බෝග වගාවන් හා අස්වනු ද විනාශ යාමට ඉඩ ඇති අතර ඊට සමගාමීව ආහාර වල මිල ගණන් ද ඉහළ යාම නිසා රටේ ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇත‍ෙ

  • තිරසාර බෝග වගාවක

මෙම එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙමින් බෝග වගාවන් තිරසාර ලෙස පවත්වා ගෙන යාම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශයන් ලබා දී ඇත. එම උපදෙස් අනුගමනය කිරීමත්,  ජල කළමනාකරණය හා ජල හිඟ තත්ත්ව යටතේ සිදු කළ හැකි වගා තාක්ෂණ ක්‍රමවලට අනුගත වීමත්, ආහාර පරිරක්ෂණ ක්‍රමවලට යොමු වීමත්, සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා උචිත ජීවන රටාවන් හා සුදුසු ආහාර පාන ලබා ගැනීම කෙරෙහි දැනුවත් වීම හා අවධානය යොමු කිරීමත් යන කරුණු සම්බන්ධයෙන් ගොවීන් ඇතුළු සියලුම ජනතාව දැනුවත් වීම අත්‍යාවශ්‍ය වේ.

2026/27 මහ කන්නයේ වී වගාව ඉක්මන් ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර ඇත. ඒ අනුව සැප්තැම්බර් අවසාන කාලයේ සිට ලැබෙන සුළු වර්ෂාපතනය භාවිතා කරමින් බිම් සැකසීම සිදු කිරීමට හා ඔක්තෝබර් මාසය තුළ දී වී වගාව ස්ථාපනය කර අවසන් කිරීමටත් සැලසුම් කර ඇත. නොවැම්බර් මාසයේ අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බැවින් ඒ වන විට මාස 1- 1 1/2  ක් පමණ වයස්ගත වගාවක් ඇතිවිට අධික වර්ෂාව මගින් ගොයමට සිදුවන වගා හානිය අවම කර ගත හැකි වේ. එබැවින් හැකි ඉක්මනින් කන්නය ආරම්භ කිරීමට ගොවීන් විසින් කටයුතු කිරීම කාලෝචිතය.

  • කෙටි කාලීන බෝග ප්‍රභේද

එල්නිනෝ තත්ත්වයේ බලපෑම වඩාත් ප්‍රබල ලෙස සිදුවන්නේ 2027 යල කන්නයට බැවින්, එම කන්නයේ  කෙටි කාලීන වී ප්‍රභේද වගා කිරීමට නිර්දේශ කරන අතර ඒ සඳහා අවශ්‍ය බිත්තර වී එළඹෙන මහ කන්නය තුළ දී නිෂ්පාදනය කර ගත යුතුවේ. මේ සඳහා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ‘ඌව රන් බීජ බිත්තර වී නිෂ්පාදන වැඩසටහන’ සහ ඔක්කම්පිටිය බීජ ගොවිපොළෙ හි 2026/27 මාස් කන්නය තුළ Bg 300, Bg 250 වැනි මාස 3 හා 2 ½ වැනි කෙටි කාලීන වී ප්‍රභේද වැඩි වශයෙන් වගා කිරීමට ද සැලසුම් කර ඇත.

පැරෂුට් තවාන් ක්‍රමය යොදා ගැනීමෙන් දිරිමත් පැල ගහනයක් ලබා ගත හැකි වන අතර සති දෙකක පමණ කාලයකින් කන්නය ඉක්මන් කර ගැනීමට ද හැකිවීම  වාසියකි. එමගින් දිරිමත් පැළ ක්‍ෂේත්‍රයේ ස්ථාපනය කරන බැවින් වගා හානි තත්ත්ව අවම කර ගැනීමට සහ වල් මර්ධනය කිරීමට ද  පහසු වන අතර වල් වී පාලනය කිරීමට ද හැකිවේ.

තොරතුරු සැපයීම –       එස්.සී.සෙල්ලහේවා, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, මොනරාගල

සංස්කරණය         –        පෙමිලා ජයරත්න, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවෙිදන මධ්‍යස්ථානය, ගන්නොරුව   

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *