ගොවි විශ්‍රාම වැටුපට දායක වී සිටින විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන්ට හිඟ විශ්‍රම වැටුප් ගෙවීමේ වැඩපිළිවෙළක්

පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකවී සිටින විශ්‍රාම වැටුප්ලාභීන් වෙත ගෙවිය යුතු හිග විශ්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (06) නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය 1987 වර්ෂයේ ආරම්භ කරන ලද ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ගොවීන් 871,425ක්  දායකත්වය ලබා ඇත.

මේ වන විට මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද ගොවි මහත්ම මහත්මීන් 170,950 ප්‍රමාණයකට තැපැල් කාර්යාල 3975 හරහා රුපියල් මිලියන 415 කට වැඩි  මුදලක් විශ්‍රාම වැටුප් ලෙස මාසිකව ගෙවනු ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ දායක වී 2014.01.01 දින සිට වයස අවුරුදු 60 සම්පූර්ණවී ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති ගොවීන්ගේ හිග විශ්‍රාම වැටුප් ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

මේ සම්බන්ධයෙන් ගොවි මහතුන් විසින් ඉදිරිපත් කරන ලද දුක්ගැනවිලි පිළිබදව විශේෂ අවධානයක් යොමුකරමින් එම වගකීම වර්තමාන රජය විසින්  භාරගෙන එම හිග විශ්‍රාම වැටුප් ගෙවීමේ  ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව මහා  භාණ්ඩාගාරයෙන් ලබාදෙන  ප්‍රතිපාදන වලට අනුව 2025 ජූනි, ජූලි, අගෝස්තු,  සැප්තැම්බර්  සහ 2026 අප්‍රේල්,  මැයි මාස වලට අදාල හිග විශ්‍රාම වැටුප්  ගෙවීම 2026 අගෝස්තු මාසයේ සිට ආරම්භ කර ඇත. මේ වන විට රු.මිලියන 38 කට ආසන්න ප්‍රමාණයක්  ගොවීන් 2910 ට ප්‍රමාණයකට ගෙවා අවසන් කර ඇති අතර  තවදුරටත් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරනු ලැබේ.

පැවති රජයන් වෙත මේ සම්බන්ධයෙන් ගොවි ජනතාව විසින් විවිධ ඉල්ලීම් කරනු ලැබුව ද කිසිදු පියවරක් නොගෙන ඇති අවස්ථාවක වර්තමාන රජය  විසින් මේ සම්බන්ධයෙන් මැදිහත්වීම ගොවි ජනතාව ලැබූ විශේෂ ජයග්‍රහනයක් ලෙස සැලකිය හැකිවේ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *