
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශය යටතේ ක්රියාත්මක ‘දුම්බර හරිත සවිය ව්යාපෘතිය’ මඟින් දුම්බර හරිත පර්යේෂණ හා පුහුණු මධ්යස්ථානය ජනතා අයිතියට පවරා දෙමින් එහි පළමු පුහුණු වැඩසටහන ආරම්භ කිරීම අද (14) සිදුකෙරිණ.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතාගේ සහ මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් හේමන්ත මහතාගේ ප්රධානත්වයෙන් මෙම සමාරම්භක වැඩසටහන පැවැත්විණි.
මෙම මධ්යස්ථානයේ ප්රධාන අරමුණ වන්නේ හරිත කෘෂිකර්මාන්තය, දේශගුණික විපර්යාස සහ කෘෂි ව්යවසායකත්වය ඇතුළු ක්ෂේත්රවලට අදාළ න්යායාත්මක හා ප්රායෝගික දැනුම ලබාදෙමින් දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දිය හැකි කෘෂිකාර්මික ප්රජාවක් ගොඩනැඟීමයි.
එමෙන්ම, නව තාක්ෂණික දැනුම හා තිරසර කෘෂිකාර්මික ක්රමවේද භාවිත කරමින් තරුණ තරුණියන් කෘෂි ව්යවසායකත්වය වෙත යොමු කිරීමත්, ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්ය කුසලතා සංවර්ධනය කිරීමත් මෙහි අපේක්ෂිත ප්රතිඵල වේ.ඉදිරියේදී මෙම මධ්යස්ථානය හරිත කෘෂිකර්මාන්තය, දේශගුණික විපර්යාස සහ කෘෂි ව්යවසායකත්වය සම්බන්ධ පර්යේෂණ හා පුහුණු පාඨමාලා පවත්වන උසස් අධ්යාපන හා පුහුණු ආයතනයක් දක්වා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ආරම්භක පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කරන අභ්යාසලාභීන් වෙත පිළිගත් සහතිකපත් ප්රදානය කිරීමට ද නියමිතය.

කාලයක් තිස්සේ භාවිතයෙන් තොරව පැවති කලුගඟ ව්යාපෘතියේ පරිපාලන හා නේවාසික ගොඩනැඟිලි ප්රයෝජනයට ගනිමින් මෙම පුහුණු මධ්යස්ථානය ස්ථාපිත කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සංකල්පයක් අනුව ක්රියාත්මක කළ මෙම වැඩපිළිවෙළ, පවතින සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කරමින් ජනතාවට ප්රතිලාභ සැලසීමේ වැදගත් පියවරකි.
මධ්යස්ථානය විවෘත කරමින් පළමු තෙදින පුහුණු වැඩසටහනට එක්වූ තරුණ තරුණියන් අමතමින් නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, මෙම ස්ථානය පුහුණු මධ්යස්ථානයක් ලෙස ආරම්භ කර දිගුකාලීන සංවර්ධන ගමනක් කරා ගෙන යාම අපේක්ෂාව බවයි.මාතලේ දිස්ත්රික්කයේ කලාප 11ම ආවරණය වන පරිදි තරුණ තරුණියන්ගේ සක්රීය සහභාගීත්වයෙන් මෙම වැඩපිළිවෙළ ප්රදේශයේ මෙන්ම රටේ අනාගතය භාරගැනීමට සූදානම් කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා, නකල්ස් ව්යාපෘතිය ඇතුළු සංවර්ධන වැඩසටහන් පිළිබඳ අවබෝධය තරුණ ප්රජාව වෙත ලබාදීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

දුම්බර හරිත සවිය ව්යාපෘතියේ කළමනාකරු මහින්ද රණසිංහ මහතා, GCF නකල්ස් ව්යාපෘතියේ නියෝජ්ය අධ්යක්ෂ නන්දන ගුණරත්න මහතා සහ මහවැලි අධිකාරියේ ව්යාපාර සංවර්ධන අධ්යක්ෂ විපුල අබේරත්න මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
එමෙන්ම ලග්ගල පොලිස් ස්ථානාධිපතිවරයා, ලග්ගල මහා විද්යාලයේ විදුහල්පතිවරයා, ලග්ගල ප්රාදේශීය ලේකම් සහ සහකාර ප්රාදේශීය ලේකම්, බකමූණ කලාපීය මහවැලි ව්යාපාර කළමනාකරු, මහවැලි උපදේශක කාර්යාංශයේ නිලධාරීන්, GCF නකල්ස් ව්යාපෘතියේ නිලධාරීන් සහ දුම්බර හරිත සවිය ව්යාපෘතියේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ.
දුම්බර හරිත පර්යේෂණ හා පුහුණු මධ්යස්ථානය මඟින් හරිත කෘෂිකර්මාන්තය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ කෘෂි ව්යවසායකත්වය ප්රවර්ධනය කරමින් තරුණ ප්රජාව සවිබල ගැන්වීමටත්, මාතලේ දිස්ත්රික්කයේ තිරසර ග්රාමීය සංවර්ධනයට දායක වීමටත් නව අවස්ථා උදා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


