මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ‘උරුමය වැඩසටහන යටතේ‘ සින්නක්කර ඉඩම් ඔප්පු

රටේ ජනතාවට “අයිතිය” ලබාදීම තම ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් පවුල්  192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (22) මඩකලපුව, තිරයිමඩු දිස්ත්‍රික්  ලේකම්  කාර්යාලයීය පරිශ්‍රයේදී පැවති උත්සවයට එක් වෙමිනි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ආවරණය වන පරිදි මෙම ඉඩම් ඔප්පු ප්‍රදානය සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඊට එක් විය.

ඉන් අනතුරුව පැවති උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘ත්‍රිකුණාමලය ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම පිළිබඳ පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී  දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.

කෘෂිකර්ම නවිකරණ වැඩසටහන යටතේ මෙම ප්‍රදේශවල විශාල කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ ඇති මහවැලි ව්‍යාපාරයට අයත් නොදියුණු ඉඩම් දියුණු කිරීමේ වැඩසටහනක් ද කඩිනමින් ආරම්භ කරනවා. අප ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. මේ රටේ සාමාන්‍ය ජනතාව විශාල ලෙස දුක් වින්දා. රට නැවත දියුණුවෙමින් තිබෙන අවස්ථාවේ අප කිසිවිටෙකත් එම ජනතාව අමතක කරන්නේ නැහැ. ඒ අනුව ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන අප ක්‍රියාත්මක කළා. දැන් ඔබට ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමිව තිබෙනවා. කිසිවෙකුට යටත්වීමට අවශ්‍ය නැහැ. අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අපි අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. දැන් ගොවි ජනතාව වෙනුවෙන් සින්නකර ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. මෙම ප්‍රදේශය සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු 27,000කට අධික ප්‍රමාණයක් ලබාදීමට නියමිතව තිබෙනවා. මෙම ඉඩම් ඔප්පු ලබාදීම කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අදාළ රාජ්‍ය නිලධාරින් සියලුදෙනා ගමට එවීමට අප වැඩපිළිවෙළක් ද අප සකස් කර තිබෙනවා. එවිට මෙම ඉඩම් ඔප්පු ලබා ගැනීමට ජනතාවට දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  පැමිණීම අවශ්‍ය නොවන අතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ඉඩම් නිලධාරින්, මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුකාරවරයා ගමට ගොස් එම ඉඩම් ඔප්පු ජනතාවට ලබාදිමට කටයුතු කරනවා. එම වැඩපිළිවෙළ එළැඹෙන සඳුදා ආරම්භ කර කඩිනමින් අවසන් කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. මට තිබෙන්නේ එකම අරමුණයි. ඒ අයිතිය ජනතාවට ලබාදීමයි. එම ලැබෙන ඉඩම් අයිතියා ආරක්ෂා කරගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා‍‘‘

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *