තේ කර්මාන්තය සුරැකීම හා කම්කරු වැටුප් වැඩිකිරීම

මෙරට ප්‍රමුඛතම කෘෂිකාර්මික අපනයන භෝගය ලෙස සැලකිය හැක්කේ තේ වගාවයි. මිලියනයකට ආසන්න පිරිසකට ඍජු හා වක්‍ර රැකියා සපයන මෙම කර්මාන්තය රටේ භූමි ප්‍රමාණයෙන් 4% ක් හෙවත් හෙක්ටයාර් 203000 කට ආසන්න භූමි ප්‍රමාණයක පැතිරී තිබේ.

සමස්ත තේ නිෂ්පාදනය වසරකට කිලෝග්‍රෑම් මිලියන 340ක් බවට සැලකෙන අතරම ශ්‍රී ලංකාවේ තේ වගා කරන ප්‍රදේශ ප්‍රධාන වශයෙන් මධ්‍යම කඳුකරයේ සහ දිවයිනේ දකුණු අභ්‍යන්තර ප්‍රදේශවල තෙක් විහිදී පවතී.

තේ කර්මාන්තය සමඟ මෙරටට සංක්‍රමණය වූ දකුණු ඉන්දීය කම්කරු ජනතාව මෙන්ම පහතරට ප්‍රදේශයේ කුඩා වතු කර්මාන්තයේ ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන කම්කරු ජනයා තේ කර්මාන්තයේ ප්‍රමුඛතම ගාමක බලයයි. මේ කම්කරු ජනයාට ජීවත්වීමට සරිලන වැටුපක් ලබා දිය යුතු යැයි කලක් තිස්සේ සංවාදයට තුඩු දුන් කරුණකි.

කුඩා තේ වතු හිමියන් මේ වන විටත් නියම කර ඇති අවම වැටුපට වඩා වැඩි මුදලක් තම ශ්‍රමිකයින් වෙත ගෙවන බවත්, රජයට අයත්ව තිබී පුද්ගලික අංශයට පවරා ඇති ප්‍රාදේශීය වතු සමාගම්වල මෙම වැටුප් වැඩි කිරීමට අදාළ ගැටලුව පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පසුගිය දිනෙක පැවසීය.

කුඩා තේ වතු හිමියන් මේ වන විටත් නියම කර ඇති අවම වැටුපට වඩා වැඩි මුදලක් තම ශ්‍රමිකයින් වෙත ගෙවන බවත්, රජයට අයත්ව තිබී පුද්ගලික අංශයට පවරා ඇති ප්‍රාදේශීය වතු සමාගම්වල මෙම වැටුප් වැඩි කිරීමට අදාළ ගැටලුව පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙසේ අවම වැටුප ක්‍රියාත්මක නොකරන වතු සමාගම් මෙලෙස නැවත රජයට පවරාගෙන, නිසි පරිදි ඒවා ක්‍රියාත්මක කළ හැකි අයට ලබාදීම සඳහා වන මූලික පනත සකස් කිරීමේ තීරණය ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී ගත් බවත් අමාත්‍යවරයා කීවේය.

එසේ අමාත්‍යවරයා සඳහන් කළ කරුණු අතර අවධානය යොමුකළ යුතු කරුණු කීපයක්ම විය. “කුඩා තේවතු හිමියන්, ඇතැම් ප්‍රදේශවල ලබා දෙන මූලික වැටුප රුපියල් 1350ට වැඩියෙන් ගෙවනවා. රුපියල් 1700, 2000 ගෙවන අයත් ඉන්නවා. ඒ නිසා මේ ක්‍රමය හරියාකාරව ක්‍රියාත්මක කරන අයට මේ මුදල ප්‍රශ්නයක් නෙවෙයි. ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ්. ගෙවන්න ඕන මුදල වෙනදා 1000යි තිබුණේ. හොඳින් වැටුප් ගෙවූ කණ්ඩායම්වලට එය 1350 වීම විතරයි වෙන්නේ. නමුත්, රජයේ වතු පෞද්ගලික අංශයට බදු දීලා තියෙද්දි බදුකරු හැටියට කල් බදු සීමාවේ ඉන්න අය තමන්ගෙ අකාර්යක්ෂමතාව නිසා, ලාභ නිසියාකාරයෙන් පෙන්වන්නේ නැතුව සැඟවීම් කරමින් සේවකයින්ට ගෙවීම් කරන්නේ නැති අවස්ථා කොතෙකුත් තිබෙනවා”

ඇතැමෙක් ආණ්ඩුවේ වතු භාරගෙන, නිසි ලෙස කළමනාකරණය කරගන්න බැරුව ශ්‍රමිකයාට පඩි නොගෙවා ඉන්නවා. ජනාධිපතිතුමා ගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී අලුත් තීන්දුවක් ගත්තා මේ ගැන විශේෂ කමිටුවක් පත් කරන්න. යෝජනා කළ වැටුප රටේ ආර්ථික තත්ත්වයට, ජීවන තත්ත්වයට, ප්‍රදේශවල ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ඔවුන්ට විශේෂ අවම වැටුප ගෙවන්නේ නැද්ද, එසේ නම් ඇයි, නොහැකියාව කුමක්ද, ගෙවිය නොහැක්කේ ඔවුන්ගේ අකාර්යක්ෂමතාව නිසාද කියා මින් හඳුනාගත හැකියි.”

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස වූයේ රජය විසින් කර්මාන්තයේ නියුතුව සිටින සියලු පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව නිසි අධ්‍යයනයක් නොකර මෙම තීරණයට එළඹ ඇති බවයි. මේ හේතුවෙන් වතුකරයේම අනාගතය මේ වන විට අවදානමට ලක්ව ඇති බවට පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් අවධාරණය කර තිබිණි.

රජය විසින් ගනු ලැබූ මෙම තීරණයේ ප්‍රතිඵලයක් ලෙස තේ සහ රබර් සඳහා වන නිෂ්පාදන වියදම 45%කින් පමණ ඉහළ යනු ඇතැයි එම සංගමය සඳහන් කරයි. මේ හේතුවෙන් තේ සහ රබර් කර්මාන්තයට ගෝලීය වෙළෙඳපොළෙහි තරගකාරීත්වයක් ලබා දීමට නොහැකි වන අතර එම ක්ෂේත්‍රයන්හි මූල්‍යයම පීඩා තවදුරටත් ඉහළ නංවනු ඇතැයි සඳහන් කරයි.තරගකාරී තේ නිෂ්පාදකයින් වන දකුණු අප්‍රිකාව, කෙන්යාව වැනි රටවල නිෂ්පාදන පිරිවැය අපගේ පිරිවැයට වඩා අඩු බව අවධාරණය කළ අතර පොහොර මිල ඉහළ යාම මෙන්ම අඩු ඵලදායිතාව හේතුවෙන් මෙරට තේ කර්මාන්තයෙන් උපයන ලාභය අවම තත්ත්වයක පවතින බවට වැවිලිකරුවන් මැසිවිලි නඟයි.

වැවිලිකරුවන් විසින් යෝජිත මෙම ක්‍රමය මඟින් ඵලදායිතාව දිරිමත් කරන අතර කම්කරුවන් සඳහා සාධාරණ සහ තිරසර වැටුප් ක්‍රමවේදයක් සහතික කරනබවද සඳහන් කරයි. මෙම ක්‍රමයට අනුව ඇතැම් සමාගම් වෙතින් තම කම්කරුවන් වෙත මෑතකදී ගැසට් කරන ලද වැටුපට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි සඳහන් කරයි.

මේ ආකාරයෙන් ගනු ලබන තීන්දු තීරණ හේතුවෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය පළුදු වී යනු ඇතැයි ද විශේෂයෙන් මෙරට නිෂ්පාදන හා සේවාවන්හි මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උපායමාර්ගික වශයෙන් වැදගත් අංශයන්හි දියුණුව වෙනුවෙන් ඍජු විදේශ ආයෝජන මෙරටට අවැසි මොහොතක එය වැවිලි කර්මාන්තයේ උන්නතියට ඍණාත්මක ආකාරයෙන් බලපානු ඇතැයි ද වැවිලිකරුවන් අවධාරණය කරයි.”

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය විසින් පවසන්නේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් තම කම්කරුවන්ට ලබාදීම සඳහා ගතහැකි ප්‍රායෝගික විසඳුම් පිළිබඳව තම සංගමය උද්‍යෝගයෙන් යුතුව කටයුතු කරන බවයි. ඒ අනුව වැවිලිකරුවන්ගේ යෝජනාව වන්නේ දිනක අවම වේතනයට නිශ්චිත දලු ප්‍රමාණයට අමතරව නෙළන දලු සඳහා අමතර ගෙවීමක් කිරීමට එකඟ බවයි. හෙවත් ඵලදායිතාව මත වැටුප් ගෙවන ක්‍රමයක් සැකසීමට එකඟ බවයි. එවැනි යෝජනාවන් සඳහා එකඟවීම පිළිබඳව කම්කරු නායකයින් අවධාරණය කර ඇත්තේ නිසි නඩත්තුවකින් තොර ඇතැම් වතුවල දෛකිකව නෙළිය යුතු අවම දලු ප්‍රමාණය නෙළීමට තරම් දලු ප්‍රමාණයක් හෝ නැති තරමට වතු නඩත්තු කිරීම ඉතිමත් දුර්වල තත්ත්වයේ පවතින නඩත්තුව දුර්වල තේ වගාවන් පවතින බවයි.

වැවිලිකරුවන් විසින් යෝජිත මෙම ක්‍රමය මඟින් ඵලදායිතාව දිරිමත් කරන අතර කම්කරුවන් සඳහා සාධාරණ සහ තිරසර වැටුප් ක්‍රමවේදයක් සහතික කරනබවද සඳහන් කරයි. මෙම ක්‍රමයට අනුව ඇතැම් සමාගම් වෙතින් තම කම්කරුවන් වෙත මෑතකදී ගැසට් කරන ලද වැටුපට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි සඳහන් කරයි.

කෙසේ වෙතත් වැවිලිකරුවන් අවධාරණය කරන්නේ වර්තමානයේ ක්‍රියාත්මක දෛනික පැමිණීම මත පදනම් වූ අවම වැටුප් ආකෘතිය යල්පැන ඇති අතර එය නූතන වැවිලි කර්මාන්තයේ අවශ්‍යතාවන් පිළිබිඹු නොකරන බවයි. වැවිලිකරුවන් අවධාරණය කරමින් කියා සිටියේ

“අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින්නේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙන සහ ඵලදායිතාව හා බැඳුණු වැටුප් ආකෘතියක් සඳහා කර්මාන්තයේ යෝජනා සලකා බලන ලෙසයි”

මුඩුබිම් පනතට යටත් කරමින් මෙරට ජනයා සතු පාරම්පරික ඉඩම් මෙන්ම ස්වභාවික වනාන්තර අක්කර දහස් ගණනක් හෙළිකරමින් ගොඩනැඟූ වැවිලි ආර්ථිකයේ අඳුරු හෙවනැළි තවමත් අඳුරෙහි ගිලී පැවතිය යුතුද?සිලෝන් ටී නාමය තවමත් ලොව ඉහළම සන්නාමයක් ලෙස පවතින්නේ මේ සොඳුරු දූපතේ ඇති ස්වභාවික සුවිශේෂීත්වය හේතුවෙනි. කර්මාන්තයක ප්‍රතිලාභ කර්මාන්තයේ සෑම අංශයක් වෙතම ළඟාවිය යුතු අතරම අවසන් වශයෙන් රටේ ආර්ථිකයට ඉන් දායකත්වයක් හිමිවිය යුතුය. තේ ඩොලර් උපයන ප්‍රමුඛතම වැවිලි භෝගයයි. එය තවදුරටත් වර්ධනය කළයුතු සේම තේ කර්මාන්ත ශාලා අසල බාර් ඉදිකිරීම පසෙකලා ඒ ශ්‍රමිකයන් වෙතද සාධාරණ වැටුපක් ලබා දීම සඳහා සාධාරණ කැපවීමක් තිබිය යුතුය. කර්මාන්ත සුරැකීමට කම්කරුවා අවැසි සේම කම්කරුවාගේ පැවැත්ම කර්මාන්තයේ ද පැවැත්ම බව පසක් කරගත යුතුමය.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

මූලාශ්‍රය – දිනමිණ

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *