‘වස විස නැති කෘෂිකර්මාන්තය’ ගැන මෙන්ම ‘වස විස නැති ආහාර පාරිභෝජනය’ “කාබනික පොහොර යොදා වගා කළ ආහාර ” ගැන වර්තමානයේ අපේ සමාජයේ දැඩි අවධානයක් යොමු වෙමින් තිබෙනවා. සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ සාකච්ඡාවේදී මේ තත්ත්වය සැලකෙන්නේ ධනාත්මක ප්‍රවණතාවක් විදිහටයි. ඒ වගේම පරිසරය ගැන සලකා බලන විටත් මෙය ඉතා වැදගත් කරුණක් ලෙස සැලකිය හැකියි.
මේ තත්ත්වය තුළ ‘පාරම්පරික වී ’ වගා කිරීම මෙන්ම පාරිභෝජනයත් සැලකිය යුතු වැදගත්කමක් හිමිකර ගෙන තිබෙනවා. එහෙත් පාරම්පරික වී වගා කිරීමේදී, අලෙවියේදී මෙන්ම පාරිභෝජනයේදී ද යම් යම් ගැටලු පවතින බව පසුගිය කාලය පුරාම විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.
අභියෝගාත්මක කාර්යයක් වන පාරම්පරික වී වගා කරන ගොවීන් දුර්මුඛ කරන ගැටලු පැන නැඟීම ගැන ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම මේ පිළිබඳව උනන්දු වන සෙසු පාර්ශ්වයන් ද කඩිනම් අවදානයක් යොමු කළ යුතුයි.
පාරම්පරික සහල් යනු කුමක්ද ?
අතීත කාලේ, ඒ කියන්නේ අනුරාධපුර, පොළොන්නරුව කාලේ ඉඳන් අපේ හෙළ ගොවියෝ වගා කළ වී වර්ග වලට තමයි අද ‘දේශීය වී’ කියලා කියන්නේ. අද ගණන් බලලා තියෙන ආකාරෙට ලංකාවේ දේශීය වී වර්ග දහස් ගණනක් තිබිලා තියෙනවා. 1950 විතර වෙන කොට මේ දේශීය වී වර්ග ක්‍රමයෙන් විනාශ වෙලා ගිහින් 200ක් විතර ඉතුරු වෙලා තිබුණා. හීනටි, හොඬරවාලු, සූදුරු,
සුවදැල්, කළු වී, ඇල් වී, කුරුළු තුඩ, පච්චපරුමාල්, මා වී, මඩතාවාලු, කහවනු, රන් සුවදැල්, පොක්කාලි, උණකොළ සම්බා, දහනල, රතු හීනටි, කට්ටමන්ජුල්, රත්දැල්, කලුබාලු, දික් වී, ගෝනබරු, දික් හීනටි, ගොඩ හීනටි වාගේ වී වර්ග තිබුණා.
හරිත විප්ලවය කළ හදිය
පාරම්පරික වී වර්ගවලට දැවැන්ත හානිය සිදු වුණේ හරිත විප්ලවය මගිනුයි. හරිත විප්ලවයේ අරමුණ වුණේ වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම. ඒ වෙනුවෙන් රසායනික පොහොර, කෘෂිනාශක, වල්නාශක භාවිතයට ගොවීන් නැඹුරු වුණා. ඒ වගේම පාරම්පරික බීජ වර්ග වෙනුවට දෙමුහුන් බීජ වර්ග භාවිත කිරීමට ගොවීන්ව උනන්දු කළා. ඒ අනුව වැඩි අස්වැන්නක් ලබා දෙන ‘එච්’ වර්ගයේ වී වගාව ලංකාව තුළ ප්‍රචලිත වුණා.
ඊට සමගාමීව පාරම්පරික වී වර්ග වගා කිරීම ගොවීන්ගෙන් දුරස් වුණා. පාරම්පරික වී වර්ග රැසක් ලංකාවෙන් සදහටම තුරන් වෙලා ගියා. අද ලංකාවේ ඉතිරි වෙලා පවතින්නේ පාරම්පරික වී වර්ග කිහිපයක් පමණයි.
යළි පාරම්පරික සහල් වෙත ද ?
වස විස නැති කෘෂිකර්මාන්තය කෙරෙහි රජයේ මෙන්ම පුද්ගලික අංශයේ අවධානය යොමු වීම සමග යළිත් පාරම්පරික වී වර්ග වගා කිරීම සඳහා ගොවීන් උනන්දු කරන ව්‍යාපාරයක් දියත් වුණා. ඒ සඳහා රාජ්‍ය අංශයෙන් මෙන්ම විවිධ සංවිධාන රැසක දායකත්වය ලැබුණා.
මේ තත්ත්වයට සමගාමීව ජනතාව තුළින් ද පාරම්පරික සහල්වලට ඉල්ලුමක් ඇති වුණා. ඒ සඳහා විශේෂයෙන් ම සෞඛ්‍ය හා පෝෂණයට අදළ කරුණු කිහිපයක් හේතු වුණා. පාරම්පරික සහල් පෝෂණය ගුණය අතින් මෙන්ම සෞඛ්‍යාරක්ෂිතභාවයෙන් ද ඉහළ බවට ජනතාව තුළ විශ්වාසයක් වර්ධනය වුණා. ශ්‍රී ලංකාවේ ජනතාව අතර දියවැඩියාව හා හදවත් රෝග බහුල වීම ද මේ මතය සමාජ ගතවීම සඳහා ප්‍රබල හේතුවක් වුණා.
පාරම්පරික සහල් සහ ගොවීන්
පාරම්පරික වී වර්ග වගා කිරීමෙන් ගොවීන් ඈත් වීමට බලපෑ ප්‍රධාන කරුණක් වශයෙන් සැලකෙන්නේ එමගින් ලැබෙන අස්වැන්න දෙමුහුන් වී වර්ගවලට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වීමයි. එහෙත් දෙමුහුන් වී වර්ග වගාවට භාවිත කරන රසායනක පොහොර, කෘමිනාශක, වල්නාශක ආදිය සඳහා ද වැය වන මුදල එක් කළ විට පාරම්පරික වී වගාවට වඩා විශාල මුදලක් වැය වන බව පැහැදිලි කරුණක්. එමෙන්ම පාරම්පරික සහල් සඳහා ආකර්ෂණීය මිලක් ද (ඉහළ මිලක්) ලබා ගැනීමට පුළුල් හැකියාවක් අද පවතිනවා. පාරම්පරික සහල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන (කැඳ වර්ග) සඳහා ද ඉහළ ඉල්ලුමක් පවතින බවක් අපට දැකිය හැකියි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් 2014 වර්ෂයේදී සිදු කළ පර්යේෂණයක් අනුව ( ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක පාරම්පරික සහල් ප්‍රභේදයන් හි නිෂ්පාදනය සහ අලෙවිය: වර්තමාන තත්ත්වය සහ අනාගත විභවතා) හඳුනා ගෙන තිබෙන්නේ පාරම්පරික වී වගාව සඳහා ගොවීන් බහුලව යොමු වී තිබෙන්නේ 2010 වසරේදී පමණ සිට බවයි. පාරම්පරික වී වගාව ගොවීන් අතර ජනප්‍රිය කරවීම සඳහා ගොවි සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ දිවයින පුරාම පාරම්පරික වී වගාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සංවිධාන කිහිපයක් ප්‍රබල දායකත්වයක් ලබා දී ඇති බව එම පර්යේෂණ වාර්තාව වැඩි දුරටත් සඳහන් කරනවා.
මෙම සංවිධාන විසින් පාරම්පරික වී මිලදී ගැනීම, අලෙවිකරණයට අවශ්‍ය සම්බන්ධතා සොයා දීම, තාක්ෂණික සහාය ලබාදීම මෙන්ම බීජ සැපයීම ද සිදු කරනවා.
පාරම්පරික බිත්තර වී ලබා ගැනීම
හරිත විප්ලවය සමග ලංකාවේ පමණක් නොවෙයි අවුරුදු දහස් ගණනක් පුරා වී වගාව සිදු වූ ඉන්දියාව ඇතුළු රටවල පවා පාරම්පරික වී ප්‍රභේද දහස් ගණනක් නැත්තටම නැති වුණා. මීට පෙර සඳහන් කළ ආකාරයට 1950 දශකය වන විට දෙමුහුන් වී වර්ග භාවිතය ජනප්‍රිය වීමත් සමග ලංකාවෙත් ගොවීන් අතර භාවිත වූ පාරම්පරික වී වර්ග සහමුලින්ම අතුරුදන් වන තත්ත්වයක් උද්ගත වෙලා තිබුණා.
එහෙත් පාරම්පරික වී වර්ගවලට ආදරය කළ ගොවීන් අතළොස්සක් අතර පාම්පරික වී වර්ග කිහිපයක් ඉතුරු වෙලා තිබුණා. මීට කලකට පෙර අලුත් ජවයක් හා දැක්මක් සමග යළිත් අපේ කෙත් බිම් පුරා යළි වගා කරමින් සිටින්නේ දෛවෝපගත ආකාරයෙන් සුරක්ෂිත වූ මේ පාරම්පරික වී වර්ගවලින් ලබා ගත් බීජ වර්ගයි.
වර්තමානයේ පාරම්පරික වී වගා කරන ගොවීන්ට අවශ්‍ය බීජ වී ලබා ගැනීම සඳහා මූලික සහාය ලබා දෙන්නේ “පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැකීමේ ව්‍යාපාරය” සහ “දේශීය බීජ සහ කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනය” මගිනුයි.
කාබනික ගොවිතැන
පාරම්පරික වී වගාව සහ ‘කාබනික ගොවිතැන’ අතර පවතින්නේ මනා සම්බන්ධතාවයක්. පාරම්පරික වී වගාව ප්‍රචලිත කිරීමේ ප්‍රධාන අරමුණක් ද වුණේ කාබනික පොහොර භාවිතයෙන්, වස විස වලින් තොරව වී වගා කිරීමයි. වර්තමානයේදී පාරම්පරික සහල් සඳහා පාරිභෝගිකයින් වෙතින් ඉහළ ඉල්ලුමක් පවතින්නේ ද ඒ සඳහා කාබනික පොහොර භාවිතා කරන නිසයි.
මේ තත්ත්වය හමුවේ පාරම්පරික වී වගා කරන ගොවීන් කාබනික පොහොර ප්‍රධාන පොහොර වර්ගය ලෙස භාවිත කිරීම සුලභ තත්ත්වයක්. ඔවුන් කාබනික පොහොර වශයෙන් කොම්පෝස්ට්, පිදුරු සහ කොළ පොහොර භාවිතයට වැඩි නැඹුරුවක් දක්වන බවක් පේනවා.
(ඉහත සඳහන් කළ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්තාව අනුව පාරම්පරික වී වර්ග වගා කරන ගොවීන්ගෙන් සියයට 87ක් (නියැඳිය තුළ) රසායනික පොහොර භාවිතයෙන් වැළකී සිටිනවා. ඒ වෙනුවට කොම්පොස්ට් පොහොර, පිදුරු සහ කොළ පොහොර භාවිත කරනවා)
පාරම්පරික වී වගාවේදී රසායනික පොහොර භාවිතයෙන් තොර වීම මෙන්ම කෘමි හා වල් නැසීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර වීමත් සිදුවිය යුතුයි. මේ තත්ත්වය පාරම්පරික වී වගා කරන ගොවීන් අනුගමනය කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ වාර්තා හෙළි කරනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට තමන්ගේ නියැදිය තුළ සිටි ගොවීන්ගෙන් සියයට 72ක් කෘමිනාශක හා වල්නාශක භාවිතයෙන් වැළකී ඒ සඳහා පාරම්පරික ක්‍රම භාවිත කරනවා.
පාරම්පරික වී වර්ග
පාරම්පරික වී වර්ග වගා කරන ගොවීන්ට දේශීය වෙළෙඳපොළේ දී අනෙකුත් සහල් වර්ග සමග දැවැන්ත තරඟයක යෙදීමට සිදුවෙලා තිබෙනවා. දැවැන්ත සහල් වෙළෙඳුන්ගේ ඒකාධිකාරිය, ඔවුන් විසින් පවත්වා ගෙන යන ශක්තිමත් අලෙවි ජාලය මේ අතර ප්‍රධානයි.
මේ තත්ත්වය තුළ පාරම්පරික සහල් වර්ග සඳහා වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුමේ ස්වභාවයත් අප හඳුනා ගත යුතුයි. මන්ද වෙළෙඳපොළ ඉල්ලුමේ ස්වභාවය ගැන නිසි හැදෑරීමකින් තොරව සිදුවන නිෂ්පාදන කටයුතු බොහෝ විට ගොවීන්ට හානිකර විය හැකියි.
පාරම්පරික සහල් වෙළෙඳපොළ තුළ වැඩිම ඉල්ලුමක් පවතින්නේ ‘සුවදැල්’ සහල් සඳහා බවයි දැකිය හැකි වන්නේ. ඊට පසුව කුරුළුතුඩ, පච්චපෙරුමාල්, හීනටි, කහවනු, දික්වී, මඩතාවාළු, වැලිහන්දිරන් සහ පොක්කාලි සහල් සඳහා ඉල්ලුමක් පවතිනවා.
ඉහත සමීක්ෂණය අනුව නම් සුවදැල් සහල් සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ අනුරාධපුර සහ කොළඹ දිස්ත්‍රික්කවලයි. කුරුළුතුඩ සඳහා ගාල්ලත්, පච්චපෙරුමාල් සඳහා කුරුණෑගලත් ඉහළ ඉල්ලුමක් තිබෙනවා. හීනටි සඳහා වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලයි. කහවනු සහල් සඳහා කෑගල්ලෙත්, දික් වී සඳහා ගාල්ලෙත් ඉහළ ඉල්ලුමක් තිබෙනවා.
ගොවීන් මුහුණ දෙන ගැටලු
පාරම්පරික වී වර්ග වගා කරන ගොවීන් ගැටලු රැසකට මුහුණ දී සිටින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කියනවා.
ඒ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ ව්‍යප්ති සේවය ඉතාමත් පහළ මට්ටමක පැවතීමයි. ඔවුන් හෙළිකරගත් ආකාරයට ගොවීන්ගෙන් සියයට 30කට පමණ පාරම්පරික වී වගාව සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා වගා ක්‍රම යනාදිය පිළිබඳ කිසිදු ව්‍යාප්ති සේවයකින් දැනුම ලැබෙන්නේ නැහැ.
මේ අතර පාරම්පරික වී වගා කරන ගොවීන් අතර පවතින තවත් ගැටලුවක් වන්නේ පාරම්පරික වී වර්ග වලින් අඩු අස්වැන්නක් ලැබීමයි. එමෙන්ම නිවැරදි හා පිරිසිදු බීජ හිඟයෙන් ද මේ ගොවීන් දැඩිව පීඩාවට පත්ව සිටිනවා.
පාරම්පරික වී වගාවේ නිෂ්පාදන පිරිවැය ඉහළ බවට ද මැසිවිල්ලක් ගොවීන් අතර තිබෙනවා. ඔවුන් කියන්නේ නව වී වගාවේ නිෂ්පාදන පිරිවැය හා සැලකීමේදී පාරම්පරික වී වර්ග වගා කිරීම වියදම් අධික කාර්යයක් බවයි.
එහෙත් පාරම්පරික සහල් කිලෝවක් සඳහා ලැබෙන ඉහළ මිල අනුව නම් නව වී වගාවට සාපේක්ෂව පාරම්පරික වී වගාව වාසිදායක බව පැහැදිලි වෙනවා.
පාරම්පරික වී වගා කරන ගොවීන් වැඩි පිරිසක් සඳහන් කරන්නේ තමන්ට අලෙවිකරණයේදී කිසිදු ගැටලුවක් නොමැති වුවත් තොග ප්‍රමාණය සීමා සහිත වීම, අලුත් වෙළෙඳපොළවල් සොයා ගැනීම අසීරු වන අවස්ථා පවතින බවයි.
අලෙවිකරණය ගැටලු
සුවදැල්, රත්දැල් හා කුරුළුතුඩ යන වී වර්ග සඳහා ප්‍රමුඛ අපනයන අවස්ථා පවතිනවා. මාලදිවයින, ඕස්ටේ්‍රලියාව, කැනඩාව සහ මැදපෙරදිග රටවලින් පාරම්පරික සහල් සඳහා ඉල්ලුමක් පවතින බව අපනයනකරුවන් සඳහන් කරනවා.
එහෙත් පාරමිපරික වී වගා කරන ගොවීන්ගෙන් වැඩි පිරිසක් බීජ වී වශයෙන් පාරම්පරික වී අලෙවි නොකරන අතර වැඩි ප්‍රතිශතයක් තම පරිභෝජනය සඳහා පමණක් පාරම්පරික වී වගා කරනු දැකිය හැකියි. මේ නිසා වෙළෙඳපොළ පුළුල් නොවීමේ ගැටලු තිබෙනවා. එමෙන්ම අඛණ්ඩව ඉහළ සැපයුමක් නොමැති වීම ද ගැටලුවක් බව දැකිය හැකියි.
පාරම්පරික සහල් පරිභෝජනය
පාරම්පරික සහල් පරිභෝජනය කරන පරිභෝගිකයින්ගෙන් අති බහුතරයක් ඒවා භාවිත කරන්නේ යම් යම් ලෙඩ රෝග සඳහා මේ සහල් වර්ග ගුණදායක යැයි යන විශ්වාසය නිසා බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කියනවා. ඔවුන්ගේ සමීක්ෂණය නියැදියට අනුව සියයට 88ක් පමණ පාරම්පරික සහල් පරිභෝජනය කරන්නේ විවිධ ලෙඩ රෝග සඳහා ඒවා සුදුසුයැයි මතය අනුවයි. ඉන් බහුතරය දියවැඩියාවට පිළියමක් ලෙස පාරම්පරික සහල් වර්ග පරිභෝජනය කරන බව හෙළි වූ බවයි එම වාර්තාව වැඩි දුරටත් සඳහන් කරන්නේ.
පාරම්පරික වී වර්ගවලින් නිෂ්පාදනය කරන හැම සහල් වර්ගයකම නැවුම් සුවඳක් වාගේ හොඳ රසයක් තියෙනවා. ඒ වගේම මේ සහල් වර්ග පෝෂණ ගුණය අතින් ඉතාමත්ම ඉහළයි. කාර්මික තාක්ෂණ ආයතනය පර්යේෂණයක් කරපු පර්යේෂණයකින් හොයා ගෙන තිබෙන ආකාරයට, කලුබාල, පච්චපෙරුමාල්, දහනල, රතු හීනටි, කට්ටමන්ජුල් වගේම රත්දැල් කියන දේශීය සහල්වල යකඩ වගේම ප්‍රෝටීන් වැඩියි. ඒ නිසා යකඩ ඌනතාවට ඉතාම සුදුසුයි. දරුවන් ලැබෙන්න ඉන්න අම්මලාට, කිරිදෙන අම්මලාට මේ සහල් ඉතාම සුදුසුයි. ඒ වගේම කලුබාල, පච්චපෙරුමාල්, රත් සුවදැල්, කලු හීනටි වගේ සහල් වල ප්‍රතිඔක්සිකාරක වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒවා හදවත් රෝග, පිළිකා පාලනයට හොඳයි. සුවදැල්, මසුරන්, දික් වී, ගෝනබරු වගේ සහල්වල පිෂ්ඨය ජීර්ණය කිරීම අඩු කරන්න පුළුවන් ගුණයක් තියෙන නිසා ඒවා දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක බවත් මේ වන විට පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා.
පාරම්පරික සහල් වර්ග මිලදී ගන්නා පරිභෝගිකයින්ගෙන් වැඩි පිරිසක් එම සහල් වර්ගවල ගුණාත්මකභාවය, රසය සහ කාබනික පොහොර යොදා වගා කිරීම ගැන වඩාත් සැලකිලිමත් වන බවක් දැකිය හැකියි. ඒ වගේම මෙම සහල් වර්ග මිලදී ගන්නේ අදායම් මට්ටමින් ඉහළ අය බවක් ද නිරීක්ෂණය කළ හැකියි.
පාරිභෝගිකයින්ගේ මැසිවිලි
පාරම්පරික සහල් වර්ග මිලදී ගන්නා පරිභෝගිකයින් ද ගැටලු රැසකට මුහුණ පා සිටින බවක් දැකිය හැකියි. ඒ අතර ප්‍රධාන වන්නේ පාරම්පරික සහල් මිලදී ගැනීමේ ස්ථානවල හිඟයයි. එමෙන්ම තමා මිලදී ගන්නේ නියම පාරම්පරික සහල් ද යන්න හඳුනා ගැනීමේ ගැටලුත් පරිභෝගිකයින්ට තිබෙනවා.
- ඉහළ මිල – පාරම්පරික සහල් සෙසු සහල් වර්ගවලට සාපේක්ෂව මිලෙන් අධිකයි. දියවැඩියාව ආදී රෝග සඳහා මෙම සහල් මිලදී ගැනීමට දිළිඳු ජනතාවට මේ නිසා නොහැකි වෙලා තිබෙනවා.
- කාබනික පොහොර යොදා ඇති බවට හෝ එහි ගුණාත්මකභාවය පිළිබඳ සහතිකයක් නොවීම.
පාරම්පරික වී වගාව ප්‍රචලිත කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද ?
පාරම්පරික වී වගාකරුවන්, අලෙවිකරුවන් සහ පරිභෝගිකයින් මුහුණ දෙන ගැටලු විසඳා ගනිමින් එම කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා වන නිර්දේශ කිහිපයක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ඉදිරිපත් කරනවා. එහිදී එම ආයතනය කියන්නේ,
- නව සහල් වර්ගවලට සාපේක්ෂව පාරම්පරික සහල්වල අස්වැන්න පහළ මට්ටමක පවතින බැවින් ජාතික සහල් අවශ්‍යතාවය සැපරීම සඳහා මෙම දෙවර්ගයේ ම (පාරම්පරික සහල් සහ නව සහල් වර්ග) සහල් නිෂ්පාදනය කළ යුතුයි.
- පාරම්පරික වී වගාව ඉහළ නැංවීම සඳහා බස්නාහිර පළාතේ පුරන් කුඹුරු යොදාගත හැකියි.
- සුළු වාරිමාර්ග සහ වර්ෂා පෝෂිත ප්‍රදේශවල ඇති අස්වනු සාපේක්ෂව පහළ මට්ටමක පවතින කුඹුරු ද පාරම්පරික වී වගාව සඳහා යොදාගත හැකියි.
- මූලික වශයෙන් පරිභෝගික හා ගොවීන්ගේ රුචිකත්වය අනුව තෝරාගත් වී වර්ග කිහිපයක් ප්‍රවර්ධනය සඳහා යොදාගත යුතුයි.
- රජයේ පොහොර සහනාධාර ක්‍රමයට අනුබද්ධිතව පාරම්පරික වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර ලබාදීම කළ යුතුයි.
- පාරම්පරික වී වගාව ප්‍රචලිත කිරීම හා සම්බන්ධව ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානවල සහභාගීත්වයෙන් සාර්ථික ව්‍යාප්ති සේවයක් ඇති කළ යුතුයි.
- පිරිසිදු බීජ ලබා ගන්නා ක්‍රමවේදයක් සැකසිය යුතු අතර එම ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන විවිධ සංවිධාන හා ආයතන අතර සම්බන්ධයක් ඇති කළ යුතුයි.
- පාරම්පරික සහල් වර්ගවල පවතින පෝෂණමය වටිනාකම පිළිබඳ නව විද්‍යාත්මක පර්යේෂණයන් වැඩි වැඩියෙන් සිදුවිය යුතුයි.
- පාරම්පරික සහල් පරිභෝජනය සම්බන්ධයෙන් පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇති කළ යුතුයි. මේ සඳහා ගුවන් යානාවල ඇති සඟරා ආදියෙහි පාරම්පරික සහල් පිළිබඳව දැන්වීම් පළ කිරීමත්, ජනප්‍රිය චරිත යොදා ගනිමින් ඒ පිළිබඳව දැනුවත් කිරීම මගින් සමාජය තුළ පාරම්පරික සහල් පරිභෝජනය ජනප්‍රිය කළ හැකියි.
- කුඩා කැඳ පැකට්, කුඩා ළමුන්ට හා ගැබිනි මවුවරුන්ට, රෝගීන්ට ගැළපෙන සහල් වර්ග කුඩා ටින්වල ඇසිරීම ආදිය මගින් සැකසීමට පහසු හා පහසුවෙන් ආකර්ෂණය වන අයුරින් පාරම්පරික සහල් සඳහා අගය එකතු කළ හැකි බව අලෙවිකරුවන්ට වටහා දිය යුතුයි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී රෝෂිණි රඹුක්වැල්ල සහ පර්යේෂණ නිලධාරී, චමිත් ප්‍රියංකර විසින් සම්පාදිත “ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක පාරම්පරික සහල් ප්‍රභේදයන් හි නිෂ්පාදන සහ අලෙවිය: වර්තමාන තත්ත්වය සහ අනාගත විභවතා” යන සංක්ෂිප්ත ප්‍රතිපත්ති සටහන අසුරිණි.