අපනයනය කරන භාණ්ඩවල තත්ත්වය ඉහළින්ම තබාගත යුතුයි – ජයලංකා සමූහ ව්‍යාපාරයේ සභාපති ගනිඳු ඉෂාර

ව්‍යාපාරය මේ තියන තැනට වර්ධනය කරගන්න තරුණයෙක් විදියට මම විශාල කැපකිරීමක් කළා. පොඩි කාලයක් ඇතුළත ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න තිරය පිටුපස හිතාගන්න බැරි තරම් කැපකිරීමක් තියෙනවා”

ඔබ ඔබේම සිහිනයක් වෙනුවෙන් කැප නොවුණොත්, වෙනත් අයෙක් ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීම උදෙසා ඔබව කුලියට ගනු ඇත” කියල වරෙක බිල් ගේට්ස් කියල තිබෙනවා. අපි අද කියන්න යන්නේ තමන්ගෙම සිහින වෙනුවෙන් කැපවෙලා ඒ සිහින මහපොළවේ යථාර්ථයක් කරගත්ත ලංකාවේ තරුණයෙක් ගැන. ඔහු ජයලංකා සමූහ ව්‍යාපාරයේ සභාපති ගනිඳු ඉෂාර මහතායි. වසර පහක් වැනි කෙටි කාලයක් තුළ රටවල් රැසකට අපනයන කරමින් සාර්ථක අපනයනකරුවෙකු  ලෙස  2021  ජනාධිපති අපනයන සම්මාන උලෙළේ දී නව අපනයනකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ වසරේ හොඳ ම අපනයනකරුවාට හිමි ලෝකඩ සම්මානය දිනා ගැනීමට ද ගනිදු ඉෂාර මහතාට හැකියාව ලැබෙනවා.

ගනිඳු ඉංජිනේරුවෙක් විදියට රැකියාවක් කළ පුද්ගලයෙක්. නමුත් ඔහුගේ කැමැත්ත වුණේ තම පියාගේ ව්‍යාපාරය දියුණු කර විදේශීය වෙළෙඳපොළට නිෂ්පාදන අලෙවි කිරීමයි. ඔහු ඒ කතාව වචනවලට පෙරළුවේ මෙහෙමයි.

“ජයලංකා නමින් ම ව්‍යාපාරය ආරම්භ කරන්නේ 1975 දී මගේ තාත්තා. ඒ වෙනකොට අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාරයක් විදියට නෙවෙයි ආරම්භ වෙන්නෙ. 2017 දී මම වැඩකරපු ආයතනයෙන් අයින්වෙලා පූර්ණකාලීනව ව්‍යාපාර කටයුතුවල නියෙලෙනවා. මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ මගේ ගම් ප්‍රදේශය වන කඩවත. මේ වෙද්දි ගම ආශ්‍රිතව සේවකයන් 25ක් පමණ ජයලංකා ආයතනයේ සෘජු සේවකයන් වශයෙන් කටයුතු කරනවා.

2019 වර්ෂයේදි තමයි පළමු වරට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමග සම්බන්ධ වෙන්නෙ. එතන තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. එහි දී මට තායිලන්තයේ පැවති ප්‍රදර්ශනයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. මගේ පළමු ගැනුම්කරුවා හමුවන්නේ එම ප්‍රදර්ශනයේදීයි.

මේ වන විට අපි ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සැම්බියාව, සිංගප්පූරුව, ඩුබායි, සෞදි අරාබිය ඇතුළු රටවල් හතකට සහ නගර දහතුනකට අපනයනය සිදු කරනවා. ඒ වගේ ම අපි විවිධ වූ භාණ්ඩ රාශියක් අපනයනය කරනවා. අපි යවන කන්ටේනර් එකක් ඇතුළෙ නිෂ්පාදන වර්ග හතළිහක් පමණ තියනවා.

‘‘තාත්තා ව්‍යාපාරය කරන කාලෙ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන තමයි වැඩියෙන් සිදු කළේ (කිතුල් හකුරු, කිතුල් පැණි, තල කැරලි, තල ගුලි). මම ව්‍යාපාරය භාර ගත්තට පස්සෙ ඒ නිෂ්පාදනවලට පමණක් සීමා නොවී පොල් පැණි, පොල් හකුරු, තල ආශ්‍රිත කැවිලි වර්ග, පුහුල් දෝසි, මස්කට්, දොදොල්, බූන්දි, ජෙම් බිස්කට්, අලුවා මෙන්ම කුළුබඩු පාර්ශ්වයෙන් කුරුඳු, ගම්මිරිස්, එනසාල්, කරාබුනැටි, ගොරකා මෙන්ම ඊට අමතරව පපඩම්, පරිප්පු, හාල්, පස්පංගුව වැනි විශාල පරාසයක නිෂ්පාදන අපනයනය කරනවා. ඒ වගේ ම ආරම්භයේ පටන් මේ දක්වා මෙරට වෙළඳපොළට ද නිෂ්පාදන සැපයීම සිදු කරනවා. මම වැඩි අවධානයක් යොමු කරන්නේ අපනයන වෙළඳපොළ සංවර්ධනය කරගැනීමටයි. මේවාට අමතරව අපි ගුරුලේත්තු අපනයනය සිදු කෙරෙනවා‘‘

කොවිඩ් 19 වසංගත තත්වය තුළ බොහෝ ව්‍යාපාරිකයන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවුණා. විවිධ අහියෝගයන්ට මුහුණ දෙන්න සිදුවුණා. ගනිඳු ඉෂාර  මහතා අතීතය මතක් කළේ මෙලෙසින්

“වසංගත තත්වය තුළ මගේ දකුණු අත වැනි තාත්තා නැති වුණා. ඒත් අනෙක් පාර්ශ්වයෙන් වසංගත කාලය තුළ ව්‍යාපාරය පුළුල් වෙලා පැහැදිලි නැග්මක් දකින්න හැකි වුණා. ඒ කාලය තුළ අපේ සැපයුම් ප්‍රමාණවත් නොවන තරමට ඉල්ලුම වැඩි වුණා. කොවිඩ් 19 වසංගත කාලය තුළ රටේ පැවති වාතාවරණය හමුවේ දිගටම ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අපනයන සංවර්ධන මණ්ඩලය බොහෝ උපකාර කළා. ඒ ආරම්භ වුණු වර්ධනය තවමත් ඒ ආකාරයෙන් ම පවතිනවා”

ව්‍යාපාරය මේ තියන තැනට වර්ධන කරගන්න තරුණයෙක් විදියට මම විශාල කැපකිරීමක් කළා. පොඩි කාලයක් ඇතුළත ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න තිරය පිටුපස හිතාගන්න බැරි තරම් කැපකිරීමක් තියෙනවා. එතනදි මම මගේ නින්ද, කෑම ඇතුළු හැම දෙයක් ම කැප කළා. ඒ කැප කිරීම තමයි කෙටි කාලයක් තුළ ලැබූ මේ ජයග්‍රහණයට හේතු වුණේ.

ඇත්තම කිව්වොත් අපනයන සංවර්ධන මණ්ඩලය නැත්නම් මම අද මෙතනත් නෑ, මෙහෙම ව්‍යාපාරයකුත් නෑ. ඒ කිව්වෙ ජයලංකා කියන ව්‍යාපාරික ආයතනය තියනවා හැබැයි වක්‍ර අපනයනය කරමින්. 2017 වර්ෂයේ මම සේවය කරමින් සිටි රැකියාවෙන් අයින්වෙලා අවුරුදු දෙකක් මහන්සි වුණා ගැනුම්කරුවෙක් හොයාගන්න. 2019 දී ගැනුම්කරුවෙකු සොයා ගන්න උපකාර කිරීමේ සම්පූර්ණ ගෞරවය අපනයන සංවර්ධන මණ්ඩලයට හිමි වෙන්න ඕනෙ. තායිලන්තයේ පැවති ප්‍රදර්ශනයකට සහභාගී වීමෙන් පසුව තමයි ඒ අවස්ථාව උදාවෙන්නෙ. ඒ පළමු ප්‍රදර්ශනයෙන් ම මං සාර්ථකත්වයට පත්වුණා. ඉන්පසු කැනඩාවේ පැවති ප්‍රදර්ශනයකදී මට තවත් ගැනුම්කරුවෙක් හමුවුණා. ඒ සදහා අවස්ථාව ලැබෙන්නෙත් අපනයන සංවර්ධන මණ්ඩලය හරහායි”

ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සඳහා පළමු අවස්ථාව ලැබෙන්නේ අපනයන සංවර්ධන මණ්ඩලයේ උපකාරයෙන් තායිලන්තයේ පැවති THAIFEX ප්‍රදර්ශනයට. ඒ ප්‍රදර්ශනයෙන් තමයි මගේ පළවෙනි ගැනුම්කරුවා හමුවෙන්නෙ. ඉන් පසුසෙ GIC Canada නම් ප්‍රදර්ශනයට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. මගෙ ලොකුම ගැනුම්කරුවන් ඉන්නේ කැනඩාවෙ, ඕස්ට්‍රේලියාවෙ සහ ඇමරිකා එක්සත් ජනපදයෙයි.

ව්‍යාපාරිකයෙකු, අපනයනකරුවෙකු වශයෙන් ඔහුට ආරම්භයේ පටන් එල්ල වූ අභියෝග හා ගැටලු පිළිබඳව ද ජයලංකා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා අදහස් දැක්වූවා.

ප්‍රධාන වශයෙන් ම තිබුණු අභියෝගෙ තමයි ව්‍යාපාරය පවත්වාගෙන යන්න තැනක් නොතිබුණ එක. ඇසුරුම් කිරීම, ලේබල් කිරීම, බඩු පැටවීම ඇතුළු හැම දෙයක් ම තනියම කරමින් ගෙදර කොටසක් වෙන් කරගෙන තමයි මුලින් ම ව්‍යාපාරය කරගෙන ගියේ. අධික ලාභය හා මුදල් මත පමණක් පදනම්ව ව්‍යාපාරය කළ නොහැකියි. ජාත්‍යන්තර වෙළඳපොළට යවන නිසා තත්වය ඉහළින් තබා ගත යුතුයි. ප්‍රධාන ම කාරණාව විශ්වාසය විය යුතුයි. පසුගාමී නොවිය යුතුයි.

අවසාන වශයෙන් මේ සියලු දේ වෙනුවෙන් ස්තුති කිරීමේ දී මගේ පියා මුලින් ම සිහි කරනවා. ඉන් පසු ව්‍යාපාරය මේ මට්ටමට ඔසවා තැබීම ගැන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට ස්තුති කළ යුතුයි.

සංවාද සටහන – මාධ්‍ය ඒකකය/ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *