වාර්ෂිකව ලක්ෂ ගණනින් ආදායම් උත්පාදනය කළ හැකි නමුත් කලකට පෙර බැක්ටීරියා රෝගයකින් මුළුමනින්ම නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වඳ වී ගිය නුවරඑළිය ඇපල් යන අනුවර්තීය නාමයෙන් හඳුන්වනු ලැබූ පෙයාර්ස් වගාව නැවත ආරම්භ කිරීම පසුගිය 30 වැනි දින නුවරඑළිය බුළුඇළ ග්‍රාම නිලධාරි වසමේ නුවරඑළිය සහකාර ප්‍රාදේශීය ලේකම් සුජානී වීරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
පෙයාර්ස් වගාව මෙලෙස ආරම්භ කරනු ලැබුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන “පලතුරු ගම්මාන” ව්‍යාපෘතියට සමගාමීව වන අතර සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් ග්‍රාම නිලධාරී වසමක් තෝරාගෙන එම ප්‍රදේශයන්ට ආවේණික පලතුරු වගාවක් ආරම්භ කිරීමට දිවයින පුරා කටයුතු කරනු ලබයි.
නුවරඑළිය බුළුඇළ ග්‍රාම නිලධාරී වසමේ පැවති පලතුරු ගම්මාන වැඩසටහනේදී බුළුඇළ ග්‍රාම සංවර්ධන සමිතියේ සියලුම සාමාජිකයන් සඳහා තම ගෙවත්තේ ඉඩ ඇති ප්‍රමාණයට අනුව පෙයාර්ස් පැළ බෙදාදීම නුවරඑළිය සහකාර ප්‍රාදේශීය ලේකම් සුජානි වීරසිංහ මහත්මියගේ අතින් සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව පළමු පැළ කිහිපය රෝපණය කිරීම ආරාධිතයන්ගේ අතින් සිදුවිය. මෙලෙස රෝපණය කරනු ලැබූ පැළ මාස කිහිපයක් ගත වන විට පලදාව ලබාගත හැකිවන අතර, අඩි තුනක උසකට පමණක් සීමා කර මෙම ශාක කප්පාදු කිරීමට සැලසුම් කර ඇත.
සාර්ථක ලෙස රෝපණය වන එක් ශාකයකින් වර්ෂයකට දළ වශයෙන් රුපියල් පනස් දහසත් ලක්ෂයත් අතර ආදායමක් ලබා ගැනීමට හැකිවන බවද ගොවියෝ පෙන්වා දෙති.
මෙම වැඩසටහන බුළුඇළ ග්‍රාම සංවර්ධන සමිතියෙන් සංවිධානය කර තිබූ අතර එම අවස්ථාව සඳහා නුවරඑළිය සහකාර ප්‍රාදේශීය ලේකම් සුජානි වීරසිංහ, සංවර්ධන නිලධාරීන්, ග්‍රාමය භාර පොලිස් නිලධාරීවරයා, බුළුඇළ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
නෝර්වුඩ් සමූහ රංජිත් රාජපක්ෂ – දිනමිණ ඇසුරිනි