වී මිලදී ගැනීමේ අක්‍රමිකතා වැළැක්වීමට නව ක්‍රමවේද හඳුන්වා දෙයි

වී මිල දී ගැනීමේදී සිදු වන අක්‍රමිකතා වැළැක්වීමට නව ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය

වී මිල දී ගැනීමේදී සිදු වන අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීමට ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 08) රැස්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.

රජය නියම කර ඇති සහතික මිලට අනුව වී මිල දී ගැනීම කාර්යක්ෂමව සිදු කිරීම, වංචා හා අක්‍රමිකතා වැළැක්වීම සහ ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ව්‍යාපාරිකයන්, ගොවීන් ලෙස පෙනී සිටිමින් රජයට වී අලෙවි කිරීම වැළැක්වීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පොහොර ප්‍රතිලාභී ගොවීන්ගේ නාම ලේඛනය, වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත ලබාදීම පිළිබඳව ද මෙම රැස්වීමේදී අවධානය යොමු විය. එමෙන්ම ගොවියා වගා කළ අක්කර ප්‍රමාණය පදනම් කරගනිමින් ඔහුට අලෙවි කළ හැකි වී ප්‍රමාණය තහවුරු කිරීම මගින් වංචනික ලෙස වැඩි වී ප්‍රමාණයක් අලෙවි කිරීම වැළැක්විය හැකි බව ද පෙන්වා දෙන ලදී.

වී මිල දී ගැනීමේදී බර අනුව ප්‍රමිතිගත ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු වූ අතර, රජයේ ගබඩා ධාරිතාව ඉහළ නැංවීම සඳහා සමුපකාර හා පෞද්ගලික ගබඩා කුලී පදනම මත ලබාගෙන ගබඩා පහසුකම් පුළුල් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
සමුපකාර සමිති හා වී අලෙවි මණ්ඩලය එක්ව සහතික මිලට වී මිලදී ගැනීම, ගබඩා පහසුකම් පුළුල් කිරීම සහ ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම මඟින් ගොවීන්ට වඩාත් කාර්යක්ෂම හා සාධාරණ සේවාවක් සැපයිය හැකි බව ද කාරක සභාව මෙහිදි  අවධාරණය  කරන ලදී.

මීට අමතරව, කළුතර හා අම්පාර දිස්ත්‍රික්කවල පැරණි ඇළ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, ඒවා සංචාරක කර්මාන්තයට යොදා ගැනීමේ හැකියාව සහ වනජීවී හා පුරාවිද්‍යා රක්ෂිත ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ඉඩම් බලපත්‍ර ලබා දීමේදී පවතින නීතිමය හා ප්‍රායෝගික ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීම සඳහා  අමාත්‍යවරුන්, කෘෂිකර්ම සහ පශු සම්පත්  නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් යන මහත්වරුන් ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *