
එක් කන්නයකට පමණක් අස්වනු අලෙවි කිරීම මගින් ආදායම් ලබන ගොවි පවුල් වසරේ අවස්ථා කිහිපයකදීම ආදායම් ලබාගැනීම සඳහා යොමුකිරීම හා ශ්‍රී ලංකාවට රනිල බෝග හා තෙල් බෝග ආනයනය අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරන ගොවීන් දැනුවත් කිරීමේ හා පහසුකම් සැපයීමේ වැඩසටහනෙහි යල කන්නය සඳහා වන වැඩසටහන හා ඊට සමගාමීව මහ කන්නය සඳහා ගොවීන් තෝරා ගැනීම මේ දිනවල සිදුකෙරේ.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක් ව ක්‍රියාත්මක කරන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) යටතේ වසරක කාලයක් තුළ, කන්න 3ක් ආවරණය වන පරිදි ගොවීන් 8000ක් සවිබල ගැන්වීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඡායාරූපය (පහළ) – ප්‍රතිලාභීන්ට උපකරණ බෙදාදීම

මෙරට කෘෂිකර්මාන්තය ආශ්රිත බෝග අතුරින් රනිල බෝග වලින් 12%ක් පමණක් රට තුළ වගා කරන අතර පරිප්පු ද ඇතුළුව ඉතිරි 88% ආනයනය කරනු ලබයි. එමෙන්ම තෙල් බෝග වලින් 83%ක් පමණ වගා කරන අතර, 17 %ක් පමණ ආනයනය කරනු ලබයි. මෙම තත්ත්වය පාලනය කරමින් මුං ඇට, උදු කවුපි ආදී ශ්‍රී ලංකාව තුළ වගාකළ හැකි බෝග වගාවන් සඳහා ගොවීන් තුළ පෙළඹවීමක් ඇති කරවීම, ජල අවශ්‍යතාව හා එහි අවදානමට මුහුණ දීම, වාරිකර්මාන්තය ආශ්රිත උපකරණ අවශ්‍යතාව සපුරාලීම සහ කෘෂි නිෂ්පාදන වෙළෙඳපොළ හඳුන්වා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු අතර වෙයි.
මෙහිදී ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම භාවිත කරමින් බිම් සකස් කිරීම හරහා ජල කළමනාකරණය කාර්යක්ෂම කිරීම, කාබනික හා රසායන පොහොර නිවැරදිව භාවිතකරමින් පස නිසරුවීම වළක්වා ගැනීම, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Good Agricultural Practices – GAP) පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම මෙන්ම වඩා ප්‍රතිලාභදායී වෙළෙඳපොලක් ගොවීන්ට නිර්මාණය කරදීම මෙහිදී SARP හරහා සිදුකරයි.
ගොවිජනතාවගේ ආදායම ඉහළ නැංවිමට නම් අස්වැන්න ඉහළ නැංවිය යුතු අතර, ඒ වෙනුවෙන් ප්‍රතිලාභීන්ට මඟ පෙන්වීම හා රුපියල් 150,000ක වටිනාකමකින් යුතු ද්‍රව්‍යමය ආධාර(පොහොර හා තාක්ෂණික උපකරණ) ලබා දීම හා තාක්ෂණික දැනුම ලබාදීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අනුමත, අදාළ ප්‍රදේශ සඳහා ගැළපෙන බීජ අක්කර භාගයක භූමි ප්‍රදේශයක් වෙනුවෙන් ව්‍යාපෘති සහාය ලබා දීම මෙහිදී සිදුකරන අතර, විසිරුම් ජල සම්පාදන උපකරණ ලබා දීම හා ඊට අදාළ තාක්ෂණික දැනුම ලබාදීමත්, ඇලි හා වැටි ක්‍රමයට බීජ සිටුවීම පිළිබඳව ගොවීන්ට මග පෙන්වීමත් සිදුකරනු ලබන අතර එමගින් වර්ෂාව හා ගංවතුර මගින් ජලය එක්රැස්වීම නිසා මූල පද්ධතියට හානි වීම අවම කරගැනීම අපේක්ෂිතය.

ඡායාරූපය – විහිදුම් ජල සැපයුම් සවිකිරීම – අනුරාධපුර දිස්ත්‍රික්කය
සමස්තයක් ලෙස ගොවීන් 8000ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී යල කන්නයේදී 2300ක් ප්‍රතිලාභීන් වෙත පහසුකම් සැලසූ අතර, එහි දෙවන අදියර යටතේ මහ කන්නය වෙනුවෙන් ගොවීන් 3500ක් තෝරා ගැනිමට අපේක්ෂිතය. ඒ සඳහා නිර්ණායක පදනම් කරගනිමින් නව තෝරාගැනීම් මේ දිනවල සිදුකරන අතර, අනුරාධපුරය, වව්නියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්කවල මී ඔය, දැදුරු ඔය හා මල්වතු ඔය ද්‍රෝණි ආශ්රිත ග්‍රාම නිලධාරී වසම් වලට අයත් ගොවි මහත්ම මහත්මීන්ට අයදුම් කළ හැකිය.
මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට කැමති ගොවීන් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) අමතා 011 2770986 දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

