
ආනයනික ලොකු ලූණු සහ අර්තාපල් වෙනුවෙන් පනවා ඇති බද්ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඒ හරහා දේශීය ගොවියා තුළ විශ්වාස වර්ධනය කරමින් දේශීය අල සහ ලොකු ලූණු නිෂ්පාදනය ඉහළ දැමීමට අපේක්ෂා කරන බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේය.

දේශීය ලොකු ලූණු නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ ලොකු ලූණු මත පනවා ඇති බදු නිෂ්පාදකයාට සහ පාරිභෝගිකයාට සහනයක් වන ආකාරයට ගළපා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම් කර ඇති ක්‍රියා මාර්ග කුමක් දැයි විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා, “විශේෂයෙන් වගා කරන ගොවියගේ විශ්වාසය ආරක්ෂා කළේ නැතිනම් ගොවියා ගොවිතැනෙන් අයින් වෙනවා. ඒ නිසා තමයි කෘෂිකර්ම අමාත්‍යතුමා සහ මම සම සභාපතීත්වය දරන ආහාර සුරක්ෂිතතා කමිටුවේ දී තීරණය කළේ ලොකු ලූණු සඳහා පනවා තිබෙන රුපියල් 50ක බද්ද තව දුරටත් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම දේශීය අල ගොවියා ආරක්ෂා කිරීමට අල බද්ද රුපියල් 80ක් කළා. ඒ කියන්නේ අපේ දේශීය අල සහ ලොකු ලූණු ගොවියා ආරක්ෂා කිරීමට මේ බදු දෙකම මේ වන විට ක්‍රියාත්මක වෙනවා. මම නැවත කියනවා අපි මේ බද්ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේ ගොවියාගේ විශ්වාසය හදන්න.
මම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න. 2022 දී දේශීය ලොකු ලූණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000යි, 2023 දී ටොන් 8300යි, 2025 දී ටොන් 21,309යි. බදු ඉහළ දැමීම සහ ලොකු ලූණු ගොවියා තුළ විශ්වාසය ඇති වීම හේතුවෙන් දේශීය ලොකු ලූණු නිෂ්පාදනය 400%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ වගේම 2026 දී දේශීය ලොකු ලූණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 40,000ක් කරන්න අපි සැලසුම් කරනවා.
අපි බදු අය කරන ගමන් දේශීය ගොවියා තුළ විශ්වාසය ඇති කරලා තිබෙනවා. දේශීයව වගා කළොත් ඒවාට ඉහළ මිලක් තිබෙනවා. මොකද ආනයනික අල සහ ලූණු සඳහා ඉහළ බද්දක් තිබෙනවා. අපි හිතනවා මේ බද්ද ක්‍රියාත්මක වීම හරහා ආනයනික ලූණු වලට, විශේෂයෙන් ඉන්දියානු සහ පාකිස්ථාන ලූණු වලට වෙළෙඳපොළ තුළ රුපියල් 150-170ක තොග මිලක් තිබෙනවා. මේවා සිල්ලරව රුපියල් 200කට හෝ ඊට අඩුව අලෙවි කරන්න පුළුවන්.
දේශීය ලොකු ලූණුවලටත් මේ මිල පවත්වා ගෙන ගියොත් පාරිභෝගිකයාටත් ආරක්ෂා වෙනවා, දේශීය ගොවියත් ආරක්ෂා වෙනවා අපටත් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පාලනය කර ගන්න පුළුවන් වෙනවා.
ඒ නිසා අපි මේ බද්ද පවත්වා ගෙන යමින් දේශීය ලූණු ගොවියා තුළ වගා කිරීමට විශ්වාසයක් ඇති කරනවා. ඒ හරහා ආනයනය අඩු කිරීම සහ දේශීය නිෂ්පාදනය වැඩි කිරීම කරන්න පුළුවන්. මේ හරහා ඩොලර් පිටරට යාම නතර වෙනවා වගේම දේශීය ගොවියට හොඳ මිලක් ලැබෙනවා” අමාත්‍යවරයා පැවසුවේය.

