ප්‍රධාන ගංඟා ද්‍රෝණිවලට ඉහළ වර්ෂාපතනයක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ගතවූ පැය 24ක කාලය තුළ මහවැලි, කැලණි, කළු ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේය.

මහවැලි ගඟ ඉහළ ප්‍රදේශය වන නාවලපිටිය, නානුඔය, වටවල වැනි ප්‍රදේශ වෙත මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයන් සහ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවා වැසි ලැබී ඇතැයි ද සූරිය බණ්ඩාර මහතා පැවසුවේය.

මේ හේතුවෙන් නාවලපිටිය සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ ආසන්නයේ සිටින ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීම් පිළිබඳව දැනුම් දීමට පියවර ගත් බවත් මේ වන විට වතුර මට්ටම් සීග්‍රයෙන් වැඩි වීමක් පෙන්නුම් නොකළ ද සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඔහු සඳහන් කළේය.

කැලණි ගඟ ඉහළ ප්‍රදේශය වන ලක්ෂපාණ, නෝර්වුඩ් සහ ඒ ආසන්න ප්‍රදේශවලට මිලිමීටර් 100 -150ත් අතර වැසි වාර්තා වී ඇති බවත් ඒ අනුව කැලණි ගඟ ඉහළ ද්‍රෝණිය වන කිතුල්ගල ඇතුළු ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යාමක් පෙන්නුම් කළ බවත් ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේය.

මේ වන විට රත්නපුර ඉහළ ප්‍රදේශයේත් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද ඒ හේතුවෙන් රත්නපුරය ජල මට්ටම අවදානම් මට්ටම දක්වා වැඩිවී තිබුණ ද විශාල වැඩිවීමක් පෙන්නුම් නොකරන බව ද මේ හේතුවෙන් ඇතැම් පහත් බිම් යටවීමේ අවදානමක් පවතින බව ද සූරිය බණ්ඩාර මහතා පැවසුවේය.

නිල්වලා, ගිංගඟ ඇතුළු අනෙකුත් ගංගාවන් මිලිමීටර් 50-75ත් අතර වර්ෂාපතනයක් දක්නට ලැබුණු නමුත් එය ගංවතුර තත්ත්වක් දක්වා වැඩිවීමක් අපේක්ෂා නොකරන බවත් මහ ඔය, අත්තනගලු ඔය ආශ්‍රිතව එතරම් වර්ෂාපතනයක් දක්නට නොලැබුණු බැවින් මේ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර අවදානමක් නොපවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *