දේශීය කෘෂි නිෂ්පාදන භාවිත කරමින් පෝෂණය හා ආදායම ඉහළ නැංවීමට SARP වෙතින් වැඩපිළිවෙළක්

දේශීයව නිෂ්පාදනය කරන පෝෂ්‍යදායී කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම තුළින් ගෘහස්ථ පෝෂණය වැඩිදියුණු කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සහ ගොවි පවුල්වල ආදායම් අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගනිමින්, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ (SARP) ප්‍රතිලාභීන් හා එම ග්‍රාමනිලධාරී වසම්වල ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන මේ දිනවල සක්‍රිය ලෙස ක්‍රියාත්මක වේ.

කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළයාම පමණක් පවුලක පෝෂණ තත්ත්වය යහපත් වීමට ප්‍රමාණවත් නොවන අතර, දේශීයව ලබාගත හැකි විවිධ පෝෂ්‍යදායී ආහාර නිසිලෙස භාවිත කිරීම සහ වසර පුරා ඒවා ලබා ගැනීම ද වැදගත් වේ. ඒ අනුව, කෘෂි නිෂ්පාදන සැකසීම හා සංරක්ෂණය කිරීම තුළින් ආහාර කල් තබා ගැනීමේ හැකියාව වැඩි කිරීම සහ අස්වනු නෙලන කාලයේ සිදුවන ආහාර නාස්තිය අවම කිරීම මෙම වැඩපිළිවෙළ යටතේ අවධානයට ලක් කෙරේ.

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ (IFAD) ණය ආධාර යටතේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන SARP ව්‍යාපෘතිය යටතේ, දේශීයව ලබාගත හැකි ධාන්‍ය, රනිල බෝග, පලතුරු, එළවළු, පලා වර්ග, බිම්මල්, කිරි, තෙල් බීජ, කුළුබඩු සහ අනෙකුත් පෝෂ්‍යදායී කෘෂි නිෂ්පාදන ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමු කොට ඇත.

ඒ යටතේ පලතුරු, වියළි පලතුරු සහ පලතුරු යුෂ, ජෑම්, සෝස් වර්ග වැනි නිෂ්පාදන ලෙසත්, එළවළු සහ පලා වර්ග වියළි නිෂ්පාදන, අච්චාරු හෝ සෝස් වර්ග ලෙසත්, ධාන්‍ය හා රනිල බෝග භාවිතයෙන් පෝෂ්‍යදායී අඩු කැලරි කෙටි ආහාර වර්ග, පිටි මිශ්‍රණ, කැඳ මිශ්‍රණ සහ සකස්කිරීමට පහසු ආහාර නිෂ්පාදන ලෙසද, රටකජු, තල වැනි තෙල් සහිත ඇටවර්ග හා බීජ ආශ්‍රිතව බටර්, ටොෆී, සෝස් වර්ග, අඩු කැලරි පෝෂ්‍යදායී රස කැවිලි ආදී වශයෙන්ද, බිම්මල් ආශ්‍රිතව අච්චාරු, පේස්ට්, සෝස් සහ වෙනත් නිෂ්පාදන ද කිරි ආශ්‍රිතව යෝගට් සහ මුදවපු කිරි වැනි නිෂ්පාදන ලෙසින් ද, කුළුබඩු අගය එකතු කිරීම් නිෂ්පාදන ලෙස සෝස්වර්ග, කුළුබඩු මිශ්‍රණ, පේස්ට් වර්ග මෙන්ම ශරීරයට හිතකර සීසනින් කියුබ් ද ආදී වන විවිධ වෙළෙඳපොල අවස්ථා හඳුන්වා දීම මෙහිදී සිදුකරයි.

මෙම ක්‍රියාවලිය තුළ කාන්තාවන්, ගොවීන් සහ ප්‍රජා කණ්ඩායම් සඳහා පෝෂණයට සංවේදී ආහාර සැකසීම, සංරක්ෂණය, සුපිරිසිදුබව සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රායෝගික දැනුම හා කුසලතා ලබාදීමද වැදගත් අංගයක් වේ. එමෙන්ම, සුදුසු ඇසුරුම්කරණය, ලේබල් කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ දැනුවත් කිරීම තුළින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ කල් තබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම අපේක්ෂා කෙරේ.

දේශීය කෘෂි සම්පත් උපයෝගී කරගනිමින් පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම මඟින් ගෘහස්ථ ආහාර විවිධත්වය වැඩි දියුණු කිරීම, පෝෂ්‍යදායී ආහාර වසර පුරා ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම සහ පසු අස්වනු හානි අවම කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ හරහා දායකත්වය දැක්වීම අපේක්ෂිත ය. ඒ සමඟම කාන්තාවන් සහ ගොවි කණ්ඩායම් සඳහා පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදන ආශ්‍රිත කුඩා පරිමාණ ව්‍යාපාරික අවස්ථා ද ඇති කිරීමට ද බලාපොරොත්තු වේ.

මෙම වැඩසටහන පිළිබඳ වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කැමති ගොවි මහත්ම මහත්මීන් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) අමතා 011 2770986 දුරකථන අංකය ඔස්සේ වැඩි දුර තොරතුරු ලබාගත හැක.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *