ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට තවත් පියවරක්: ආර්ථික සංගණනය – 2025/26 (කෘෂිකාර්මික කටයුතු)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, ව්‍යුහය සහ අනාගත සංවර්ධන අවශ්‍යතා පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කිරීමේ අරමුණින් “ආර්ථික සංගණනය – 2025/26” යටතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීම සිදු කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇත.

සංගණන ආඥා පනත මගින් ලැබී ඇති බලතල යටතේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සෑම වසර දහයකට වරක් පවත්වනු ලබන මෙම ජාතික කර්තව්‍යය, ජාත්‍යන්තරව පිළිගත් සංඛ්‍යාලේඛන ක්‍රමවේදයන්ට අනුකූලව ක්‍රියාත්මක වේ.

මෙවර ආර්ථික සංගණනය (කෘෂිකාර්මික කටයුතු) මගින් 2025/26 මහ කන්නය සහ 2026 යල කන්නය ආවරණය වන පරිදි කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳ යාවත්කාලීන දත්ත රැස් කිරීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික මගපෙන්වීම යටතේ සිදු කෙරෙන මෙම සංගණනයේ ගණන් ගැනීමේ කටයුතු 2026 ඔක්තෝබර් 01 දින සිට දෙසැම්බර් 15 දින දක්වා දිවයින පුරා පැවැත්වේ.

මෙවර සංගණනයේ විශේෂම ලක්ෂණය වන්නේ සාම්ප්‍රදායික මුද්‍රිත ප්‍රශ්නාවලි වෙනුවට CAPI (Computer-Assisted Personal Interviewing) තාක්ෂණය සහ ටැබ්ලට් පරිගණක (Tablets) භාවිත කරමින් දත්ත රැස් කිරීමයි. මෙම නවීන තාක්ෂණික භාවිතය තුළින් දත්ත රැස් කිරීමේ කාර්යක්ෂමතාව හා නිරවුල්තාව ඉහළ යන අතර, දත්ත පරීක්ෂාව සහ කළමනාකරණයද වඩාත් විධිමත්ව සිදු කිරීමට හැකියාව ලැබේ.

තොරතුරු එක්රැස් කිරීම ප්‍රධාන ප්‍රශ්නාවලි දෙකක් යටතේ සිදු කරනු ලබයි

එක් එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අදාළ කෘෂිකාර්මික ක්‍රියාකාරකම්, බෝග වගාවන්, ජල ප්‍රභව, ආපදා තත්ත්ව, කෘෂිකාර්මික පහසුකම්, පිරිසැකසුම් මධ්‍යස්ථාන සහ පශු සම්පත් පිළිබඳ තොරතුරු මීට ඇතුළත් වේ.

කෘෂිකාර්මික කටයුතුවල නිරත කුඩා හා විශාල ගොවි කාණ්ඩ, ඉඩම් හිමියන්, ගෙවතු වගාකරුවන් සහ සුහුරු කෘෂිකර්මාන්තයේ (Smart Agriculture) නියුතු පුද්ගලයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රැස් කෙරේ. ඒ යටතේ ඉඩම් භුක්තිය හා භාවිතය, වගා කටයුතු, පොහොර හා පළිබෝධනාශක භාවිතය සහ පශු සම්පත් පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කෙරේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් හා විශ්වාසනීය දත්ත පද්ධතියක් සකස් කිරීම උදෙසා පහත අංශ ආවරණය වන පරිදි තොරතුරු රැස් කරනු ලබයි:

ගොවීන් සහ ගොවි කාණ්ඩ – කෘෂිකාර්මික කටයුතුවල නිරත පුද්ගලයන්, කුඩා හා විශාල ගොවි කාණ්ඩ, ගෙවතු වගාකරුවන් සහ සුහුරු කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් හඳුනා ගැනීම.

ඉඩම් සහ වගා භූමි – කෘෂිකාර්මික ඉඩම්වල මුළු භූමි ප්‍රමාණය, ඉඩම් භුක්තිය, භාවිතය සහ සැබවින්ම වගා කරන ලද භූමි ප්‍රමාණය.

කෘෂිකාර්මික යෙදවුම් – වගාවන් සඳහා භාවිත කරනු ලබන පොහොර, කෘමිනාශක, වල්නාශක සහ අනෙකුත් පළිබෝධනාශක පිළිබඳ දත්ත.

පශු සම්පත් – සත්ව පාලනය, සත්ව සංඛ්‍යාව සහ කෘෂිකාර්මික කටයුතුවලට අදාළ පශු සම්පත් පිළිබඳ තොරතුරු.

යටිතල පහසුකම් – ජල ප්‍රභව, කෘෂිකාර්මික පහසුකම්, පිරිසැකසුම් මධ්‍යස්ථාන සහ කෘෂිකර්මාන්තයට අදාළ අනෙකුත් පහසුකම්.

කෘෂිකාර්මික සංගණනයෙන් ලබාගන්නා දත්ත රටේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා නිවැරදි හා තොරතුරු මත පදනම් වූ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අත්‍යවශ්‍ය දත්ත පදනමක් සපයයි. මෙමගින් අත්කර ගත හැකි ප්‍රධාන ජාතික ප්‍රතිලාභ කිහිපයකි.

  • ක්‍රමවත් සැලසුම්කරණය – කෘෂිකාර්මික යටිතල පහසුකම් සංවර්ධනය, විධිමත් වගා සැලසුම් සකස් කිරීම සහ සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම.
  • ගොවි ජනතාව සබල ගැන්වීම – ගොවි ජනතාවට අවශ්‍ය සහාය හා ප්‍රතිපාදන නිසි පරිදි ලබාදීම.
  • ආහාර සුරක්ෂිතතාව – දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ජාතික ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම.
  • සාධාරණ වෙළඳපොළක් නිර්මාණය කිරීම
  • ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ වන පරිදි මිල තීරණය කිරීම.
  • ප්‍රතිපත්ති සම්පාදනය
  • ආනයන හා අපනයන ප්‍රතිපත්ති සකස් කිරීම සහ ජාතික ගිණුම් විධිමත්ව සම්පාදනය කිරීම.

ආර්ථික සංගණනය – 2025/26 (කෘෂිකාර්මික කටයුතු) යනු ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය උදෙසා තැබෙන තීරණාත්මක පියවරකි. මෙමගින් ගොඩනැගෙන යාවත්කාලීන දත්ත පද්ධතිය රටේ කෘෂිකාර්මික පුනරුදයට මෙන්ම සමස්ත ආර්ථිකයේ ස්ථාවරත්වයටද මහඟු පිටිවහලක් වනු ඇත.

උපුටා ගැනීම – කෘෂිකර්මථ පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ෆේස්බුක් පිටුවෙන් කළ ඍජු උපුටා ගැනීමති.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *