SARP ව්‍යාපෘතිය මගින් තරුණ ව්‍යවසායකයන් බලගැන්වීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි

SARP සහාය හා මගපෙන්වීම මගින් තරුණ ව්‍යවසායකයන් බලගැන්වීමේ වැඩසටහන යටතේ ව්‍යාපාරයක් කුඩා පරිමාණයෙන් ආරම්භ කර නිසි මග පෙන්වීම, ව්‍යාපාරික දැනුම සහ වෙළෙඳපොළ අවස්ථා සමඟ ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට දක්වන දායකත්වය හමුවේ විශාල ව්‍යවසායකයන් පිරිසක් නිර්මාණය වෙමින් තිබේ.

මාවතගම, කොබෙයිගනේ ප්‍රදේශයේ එස්.කේ. දීපිකා දමයන්ති මහත්මිය විසින් ආරම්භ කළ “කෙයාරා ෆාම්” යනු ඒ් සඳහා සාර්ථක උදාහරණයකි. මෙම ව්‍යාපාරය, ආරම්භයේදී කුකුළු බිත්තර සඳහා සතුන් ඇතිකිරීම, සතුන් 500කින් යුත් කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස පැවති අතර, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මගින් ලබාදුන් සහයෝගය සහ මගපෙන්වීම සමඟ අද වන විට සතුන් 3,000ක් දක්වා වර්ධනය වූ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ අරමුදල (IFAD) සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක වන SARP ව්‍යාපෘතිය මගින්, දීපිකා දමයන්ති මහත්මියගේ ව්‍යාපාරික හැකියාව වර්ධනය කිරීම සඳහා මූල්‍ය කළමනාකරණ පුහුණුව, ව්‍යවසායකත්ව මනස වර්ධනය කිරීමේ පුහුණුව සහ වෙළෙඳපොළ සම්බන්ධීකරණය ඇතුළු සහාය ලබාදී ඇත.

මෙම මැදිහත්වීම් හරහා ව්‍යාපාරයේ පරිමාණය ඉහළ නැංවීමට පමණක් නොව, ව්‍යාපාරය වඩාත් විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාමටද අවශ්‍ය පදනම සකස් වී තිබේ. ඒ අනුව “කෙයාරා ෆාම්” රජයේ නීතිමය රාමුව තුළ ලියාපදිංචි ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට හැකිව ඇති අතර, ව්‍යාපාරයටම අනන්‍ය වූ “කෙයාරා ෆාම්” යන ව්‍යාපාර නාමය සහ අනන්‍යතාවය ද ගොඩනැගී තිබේ.

ව්‍යාපාරයේ වර්ධනයත් සමඟ දීපිකා දමයන්ති මහත්මියගේ පෞද්ගලික ආර්ථික තත්ත්වයද ශක්තිමත් වී ඇති අතර, මේ වන විට සේවකයන් දෙදෙනෙකුට වැටුප් ගෙවන ඇය වාහන දෙකක හිමිකාරියක් බවට ද පත්ව සිටී.  ආරම්භයේ බිත්තර පෙට්ටි 28ක් පමණ නිෂ්පාදනය කළ ඇය දැන් බිත්තර පෙට්ටි 60කටත් අධික ප්‍රමාණයක් වෙළෙඳපොළට  ලබා දෙයි. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ ව්‍යාපාරය හරහා තම ආර්ථික හැකියාව ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට හැකිවීම, ඇයගේ ව්‍යවසායකත්ව ගමනේ වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

සතුන් 500කින් ආරම්භ වූ “කෙයාරා ෆාම්” අද සතුන් 3,000ක් දක්වා වර්ධනය වීම, නිසි ව්‍යාපාරික මගපෙන්වීම, දැනුම, වෙළෙඳපොළ සම්බන්ධතා සහ ව්‍යවසායකත්ව උත්සාහය එකට එක්වූ විට කුඩා පරිමාණ ව්‍යාපාරයකට අත්කරගත හැකි වෙනස මනාව පෙන්වා දෙයි.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට කැමති ගොවි මහත්ම මහත්මීන් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) අමතා 011 2770986 දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *