වැව්ගම් පුබුදුව යටතේ ප්‍රතිසංස්කරණය කළ වැව් අමුණු 126ක පිඹුරුපත් ප්‍රදානය කිරීමේ වැඩසටහන ඇරඹෙයි

දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ගොවි ජනතාවගේ ජල සුරක්ෂිතතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ “වැව්ගම් පුබුදුව” ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද වැව් අමුණු 126කට අදාළ පිඹුරුපත් ගොවි ජනතාව සහ රාජ්‍ය ආයතන වෙත භාරදීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලද මෙම දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP), හරිත දේශගුණ අරමුදල (GCF) මඟින් ලබාදුන් මූල්‍ය දායකත්වය, ශ්‍රී ලංකා රජයේ සම-මූල්‍ය දායකත්වය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මඟින් ලබාදුන් තාක්ෂණික සහාය මත ක්‍රියාත්මක විය.
ව්‍යාපෘතිය යටතේ එල්ලංගා පද්ධති 09කට අයත් වැව් අමුණු 126ක් ප්‍රතිසංස්කරණය කර ඇති එම ජල සම්පත් පිළිබඳ නිවැරදි භූගෝලීය හා තාක්ෂණික තොරතුරු ඇතුළත් පිඹුරුපත් අදාළ පාර්ශව වෙත ලබාදීමේ තවත් එක් වැඩසටහනක් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්, පිඹුරුපත් අදාළ පාර්ශව වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම පසුගිය දා (ඔක්තෝබර් 05) අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රා.ම. සුසන්ත කුමාර නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ සඳහා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනෙවිරත්න මහතා, මැදවච්චිය ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරිතුමන්,වාරිමාර්ග අමාත්‍යංශයේ හිටපු ලේකම්, වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ සහ වාරි මහිම අපේ උරුමය වැඩසටහනේ තාක්ෂණික උපදේශක ඉංජි. වසන්ත පලුගස්වැව මහතා, වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ,මහවැලි උපදේශක කාර්යංශයේ සහකාර සාමාන්‍යාධිකාරි කැනීෂියස් සමරසිංහ මහතා , වාරි මහිම අපේ උරුමය වැඩසටහනේ උතුරු සහ උතුරු මැද පළාත් කලමණාකරු අශෝක පෙරේරා මහතා , වාරි මහිම අපේ උරුමය වැඩසටහනේ වව්නියා දිස්ත්‍රික් කලමණාකරු ඉංජි.පසිඳු අමරසිහ මහතා,හිටපු මැනුම්පති පාලිත උදයකාන්ත මහතා සහ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ‍ය නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි විය.
මෙවැනි ක්‍රමවත් මැදිහත්වීම් තුළින් වැව් රක්ෂිත සීමා පැහැදිලිව හඳුනාගෙන ලේඛනගත කිරීම මඟින් වැව් ආශ්‍රිත භූමි අනවසර භාවිතය වැළැක්වීමටත්, වැව් පද්ධති ආරක්ෂා කරමින් අනාගත පරපුර වෙනුවෙන් එම ජල සම්පත් සංරක්ෂණය කිරීමටත් වැදගත් පදනමක් සැල‍ෙසෙන අතර වැව් හා එල්ලංගා පද්ධති හුදෙක් වාරිමාර්ග ව්‍යුහයන් ලෙස නොව ගොවි ජනතාවගේ ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව තීරණය කරන ජීවමාන පරිසර පද්ධති ලෙස ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පදනම තවදුරටත් ශක්තිමත් කෙරේ.
Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *