
ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය (World Organisation for Animal Health – WOAH) විසින් සංවිධානය කරනු ලබන සන්නිවේදනය පිළිබඳ සම්බන්ධීකරණ නිලධාරීන් සඳහා වන ආසියා සහ පැසිෆික් කලාපීය සම්මන්ත්‍රණය – 2026, චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල මූල්‍ය අනුග්‍රහය යටතේ, 2026 නොවැම්බර් මස 09 සිට 11 දක්වා ශ්‍රී ලංකාවේ කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වේ.
සාමාජික රටක ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරියා (Chief Veterinary Officer – CVO) එම රට නියෝජනය කරමින් WOAH හි නිල නියෝජිතයා (Delegate) ලෙස කටයුතු කරයි. සෑම සාමාජික රටකම නියෝජිතයන්ට තම අයිතිවාසිකම් හා වගකීම් නිසි පරිදි ඉටු කිරීමටත්, ජාත්‍යන්තර ප්රමිතීන් සකස් කිරීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමටත් සහාය වීම සඳහා WOAH විසින් විෂය ක්ෂේත්‍ර අටක් ආවරණය වන පරිදි සම්බන්ධීකරණ නිලධාරීන් අට දෙනෙකු (Focal Points – FPs) පත් කරනු ලැබේ. ඒ අතර සන්නිවේදනය පිළිබඳ සම්බන්ධීකරණ නිලධාරියා ද විශේෂ ස්ථානයක් ගනී.
WOAH හි ගෝලීය ධාරිතා සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස, එක් එක් විෂය ක්ෂේත්රයට අදාළ සම්බන්ධීකරණ නිලධාරීන් සඳහා නිරන්තරයෙන් සම්මන්ත්රණ සංවිධානය කරනු ලැබේ. 2011 වර්ෂයේ සිට සාමාජික රටවල් විසින් සන්නිවේදනය පිළිබඳ සම්බන්ධීකරණ නිලධාරීන් පත් කිරීම ආරම්භ කරන ලදී. 2013 මාර්තු මාසයේදී මහජන චීන සමූහාණ්ඩුවේදී පවත්වන ලද පළමු සම්මන්ත්‍රණයේ සිට මේ දක්වා ආසියා සහ පැසිෆික් කලාපය තුළ මෙවැනි කලාපීය සම්මන්ත්රණ හයක් පවත්වා ඇති අතර, ඒවායේ ප්‍රධාන අරමුණ වූයේ අදාළ නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමයි.
සත්ත්ව සෞඛ්‍ය ක්ෂේත්රයේ සන්නිවේදනයේ වර්තමාන පරිවර්තනය
ආසියා සහ පැසිෆික් කලාපය තුළ සත්ත්ව සෞඛ්‍ය බලධාරීන්ගේ සන්නිවේදන පරිසරය පසුගිය කාලය තුළ සැලකිය යුතු පරිවර්තනයකට ලක්ව ඇත. ඩිජිටල් තාක්ෂණයේ ශීඝ්‍ර ව්‍යාප්තිය, විවිධ මාධ්‍ය ජාලයන්ගේ පුළුල් වීම සහ තොරතුරු ඉතා වේගයෙන් සමාජගත වීම හේතුවෙන් සන්නිවේදන ක්ෂේත්රයේ නව අභියෝග රැසක් මතු වී තිබේ. විශේෂයෙන්ම සාවද්‍ය තොරතුරු (Misinformation) සහ හිතාමතාම ප්‍රචාරය කරනු ලබන වැරදි තොරතුරු (Disinformation) ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හමුවේ, විධිමත්, උපායමාර්ගික සහ විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ සන්නිවේදන ක්‍රමවේදයන්හි අවශ්‍යතාව තවදුරටත් ඉහළ ගොස් ඇත.
විවිධ සමාජ-ආර්ථික, භාෂාමය සහ ආයතනික පසුබිම් සහිත රටවල් රැසකින් සමන්විත ආසියා සහ පැසිෆික් කලාපය තුළ, එක් එක් රටෙහි සන්නිවේදන ධාරිතාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍ය මෙහෙයුම් කටයුතුවලදී මෙන්ම හදිසි අවස්ථාවලදී ද ඵලදායී ලෙස තොරතුරු සන්නිවේදනය කිරීමේ හැකියාව සාමාජික රටවල් තුළ වර්ධනය කළ යුතුය. ඒ සඳහා අවදානම් සන්නිවේදනය (Risk Communication), ප්‍රජා සහභාගීත්වය (Community Engagement) සහ තොරතුරු ව්‍යාප්තිය ආශ්රිත අභියෝග කළමනාකරණය කිරීම (Infodemic Management) යන අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම කලාපීය ප්‍රමුඛතාවක් බවට පත්ව ඇත.
මෙම පසුබිම තුළ, WOAH සාමාජික රටවල ජාතික මට්ටමේ සන්නිවේදන ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා මෙම කලාපීය සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.
සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ
සන්නිවේදනය පිළිබඳ සම්බන්ධීකරණ නිලධාරීන් සඳහා වන මෙම WOAH කලාපීය සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වන්නේ, ආසියා සහ පැසිෆික් කලාපය තුළ සත්ත්ව සෞඛ්‍යය සහ එක් සෞඛ්‍ය සංකල්පය (One Health) ආශ්රිත ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සඳහා පශු වෛද්‍ය සේවාවන්ට සහාය වන, ඉලක්කගත ප්‍රේක්ෂකයන් කේන්ද්‍ර කරගත් උපායමාර්ගික සන්නිවේදන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමේදී සාමාජික රටවල ධාරිතාව වර්ධනය කිරීමයි.
සත්ත්ව සෞඛ්‍ය අවදානම් කළමනාකරණය කිරීම පමණක් නොව, මහජන විශ්වාසය ගොඩනැගීම, නිවැරදි තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීමට සහාය වීම සහ ඵලදායී ප්‍රතිපත්තිමය ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා ද පශු වෛද්‍ය සේවාවන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව මෙම අරමුණ මඟින් අවධාරණය කෙරේ.
WOAH හි උපායමාර්ගික සැලසුම්වලට අනුකූලව, තාක්ෂණික, ප්‍රතිපත්තිමය සහ මහජන මට්ටම්වල සම්බන්ධීකරණය වූ, ඒකාබද්ධ වූ සහ ඵලදායී සන්නිවේදනයක් ප්‍රවර්ධනය කිරීම මෙම සම්මන්ත්‍රණයේ තවත් අරමුණකි. එමඟින් ගෝලීය සත්ත්ව සෞඛ්‍ය ක්ෂේත්රයේ විශ්වාසනීය හඬක් ලෙස WOAH සංවිධානයේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කෙරේ.
සම්මන්ත්‍රණයේ විශේෂිත අරමුණු
මෙම සම්මන්ත්‍රණය මඟින් විශේෂයෙන් පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.
- සන්නිවේදන සම්බන්ධීකරණ නිලධාරියෙකුගේ කාර්යභාරය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම: කලාපීය මට්ටමින් WOAH හි සන්නිවේදන සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමේ වගකීම්, කාර්යභාරය සහ අපේක්ෂිත දායකත්වය පිළිබඳ සහභාගිවන්නන් අතර මනා අවබෝධයක් ඇති කිරීම.
- නවීන විද්‍යාත්මක හා සෞඛ්‍ය සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම: ඉලක්කගත ප්‍රේක්ෂක කණ්ඩායම් හඳුනාගැනීම, මහජන විශ්වාසය ගොඩනැගීම, සරල හා පැහැදිලි භාෂාව භාවිත කිරීම සහ ඵලදායී මහජන සහභාගීත්වය ඇති කිරීම පිළිබඳ මූලික නිපුණතා වර්ධනය කිරීම.
- අවදානම් සන්නිවේදනය හා ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම: අවදානම් සන්නිවේදනය, ප්‍රජා සහභාගීත්වය සහ තොරතුරු ව්‍යාප්තිය ආශ්රිත අභියෝග කළමනාකරණය කිරීම පිළිබඳ ධාරිතාව වර්ධනය කිරීම. විශේෂයෙන් සත්ත්ව සෞඛ්‍ය හදිසි අවස්ථාවන් සඳහා පූර්ව සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම.
- ඩිජිටල් සන්නිවේදනය හා නවෝත්පාදන භාවිතය පිළිබඳ ප්‍රායෝගික කුසලතා වැඩිදියුණු කිරීම: සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම සහ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) වැනි නවීන තාක්ෂණික මෙවලම් ඵලදායී ලෙස භාවිත කිරීම පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කිරීම.
- චර්යාත්මක වෙනස්කම් ඇති කිරීම සඳහා සන්නිවේදනය ශක්තිමත් කිරීම: සමාජයේ යහපත් චර්යාත්මක වෙනස්කම් ඇති කිරීමට උපකාරී වන සන්නිවේදන ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම සහ විවිධ ක්ෂේත්‍ර අතර ඒකාබද්ධ පණිවිඩ හුවමාරුව තුළින් ක්‍රියාකාරී සහභාගීත්වය ඇති කිරීම.
- එක් සෞඛ්‍ය සංකල්පය (One Health) යටතේ සහයෝගීතාව වර්ධනය කිරීම: විවිධ අංශ අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කරමින් ලබාගන්නා දැනුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කිරීම.
සම්මන්ත්‍රණයේ ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ප්‍රතිඵල
මෙම සම්මන්ත්‍රණය දේශනවලට පමණක් සීමා නොවී, අන්තර්ක්‍රියාකාරී සහ ප්‍රායෝගික පුහුණු ක්‍රියාකාරකම්වලින් සමන්විත වේ. ඒ සඳහා කණ්ඩායම් අභ්‍යාස, අනුකරණ පුහුණු වැඩසටහන් (Simulations), රටවල් අතර අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීම, සන්නිවේදන නිෂ්පාදන සකස් කිරීම සහ ක්‍රියාකාරී සැලසුම් (Action Plans) සකස් කිරීම ඇතුළත් වේ.
තවද, කලාපීය සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමත්, එක් එක් රටෙහි WOAH නියෝජිතයන්ට සහ පශු වෛද්‍ය සේවාවන්ට සහාය වීමේදී එම නිලධාරීන්ගේ කාර්යභාරය වැඩිදියුණු කිරීමත් අපේක්ෂා කෙරේ.
ඉලක්කගත ප්‍රේක්ෂකයන් පිළිබඳ විශ්ලේෂණය, උපායමාර්ගික සන්නිවේදන සැලසුම් සකස් කිරීම සහ අර්බුදකාරී අවස්ථාවලදී සන්නිවේදනය කිරීම පිළිබඳ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරේ. එසේම, විවිධ අංශ සහ ප්‍රධාන හවුල්කාර ආයතන සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ද මෙම සම්මන්ත්‍රණයේ වැදගත් අපේක්ෂිත ප්රතිඵලයකි.
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහ සංවිධාන දායකත්වය
මෙම වැදගත් කලාපීය සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ සත්කාරකත්වය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (Department of Animal Production and Health – DAPH) විසින් දරනු ලබයි.
ශ්‍රී ලංකාවේ WOAH සන්නිවේදන සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස ද කටයුතු කරන, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් වන වෛද්‍ය G. C. S. කුරුගල මහත්මිය මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී සාර්ථකව පැවැත්වීම සඳහා සත්කාරක හා සංවිධාන කටයුතු මෙහෙයවනු ලබයි.

