Keells–SARP රාජ්‍ය–පෞද්ගලික–නිෂ්පාදක හවුල්කාරිත්වයෙන් එළවළු නිෂ්පාදනයට නව දිශානතියක්

ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගොවීන් විධිමත් වෙළඳපොළ සමඟ සෘජුව සම්බන්ධ කරමින්, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන, නවීන තාක්ෂණය භාවිත කරන සහ තිරසාර ආදායම් උත්පාදනය කරන කෘෂි ව්‍යවසායකයන් පිරිසක් බිහිකිරීමේ අරමුණින්, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) සහ Jaykay Marketing Services (Pvt) Ltd – Keells එක්ව රාජ්‍ය–පෞද්ගලික–නිෂ්පාදක හවුල්කාරිත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

නව ගොවි කණ්ඩායම් ව්‍යාපෘතියට සම්බන්ධ කර ගැනීම, නවීන ආරක්ෂිත වගා තාක්ෂණයන් හඳුන්වා දීම සහ ප්‍රතිලාභී ගොවීන්ට අඩු පොලී අනුපාතයක් යටතේ කෘෂිකාර්මික ණය පහසුකම් ලබාදීමට පියවර ගැනීම ද මෙම වැඩසටහනේ විශේෂත්වයකි.

මෙම ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක ක්‍රියාත්මක කෙරෙන අතර, ආරක්ෂිත ගෘහ වගාව යටතේ අමු මිරිස් සහ මාළු මිරිස් වගාව ප්‍රවර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණ වේ. එමඟින් ගොවීන්ගේ නිෂ්පාදන ඵලදායීතාව හා ආදායම ඉහළ නැංවීම මෙන්ම Keells වෙළඳ ජාලයට ගුණාත්මකභාවයෙන් හා ආහාර සුරක්ෂිතතාවයෙන් යුත් නැවුම් නිෂ්පාදන අඛණ්ඩව සැපයීම අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභී ගොවීන් 100 දෙනෙකු තෝරාගෙන ඇති අතර, නවීන වගා තාක්ෂණයන් භාවිතයෙන් වාණිජ මට්ටමේ නිෂ්පාදනයක් කරා ඔවුන් යොමු කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය පහසුකම් සපයනු ලැබේ. ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය රුපියල් මිලියන 234.45 ක් වන අතර, ඒ සඳහා Keells, SARP, ප්‍රතිලාභී ගොවීන් සහ මූල්‍ය ආයතන ඒකාබද්ධව දායක වේ. මෙම හවුල්කාරී ආයෝජන ආකෘතිය ගොවීන්ගේ ව්‍යාපාරික ස්වාධීනත්වය සහ දිගුකාලීන තිරසාරභාවය තහවුරු කිරීම සඳහා සැලසුම් කර ඇත.

ගොවීන් වෙත සෙවන දැල්, කෘමි ප්‍රතිරෝධී දැල්, පොලි මල්ච්, බිංදු ජලසම්පාදන පද්ධති සහ සූර්ය බලශක්ති ජල පොම්ප ඇතුළු නවීන කෘෂි තාක්ෂණික පහසුකම් හඳුන්වා දෙනු ලැබේ. එමෙන්ම යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP), බෝග සැලසුම්කරණය, පසු අස්වනු කළමනාකරණය, මූල්‍ය සාක්ෂරතාව, වාර්තා පවත්වාගෙන යාම සහ වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳ පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.

Keells සමාගමේ එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ විහිදුම් නිලධාරී ජාලය මඟින් ගොවීන්ට අඛණ්ඩ තාක්ෂණික උපදේශන ලබාදෙන අතර, ගොවිපළෙන් අස්වනු ලබාගත් අවස්ථාවේ සිට පැය 24ක් ඇතුළත නිෂ්පාදන වෙළඳසැල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා කාර්යක්ෂම සැපයුම් දාමයක් පවත්වාගෙන යයි. මෙම ක්‍රමවේදය මඟින් අතරමැදියන්ගේ මැදිහත්වීම අවම කර ගොවීන්ට සාධාරණ මිලක් හිමිවන අතර, පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ නැවුම් නිෂ්පාදන ලබාදීම ද තහවුරු වේ.

මෙමඟින් SARP–Keells හවුල්කාරිත්වය ගොවීන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරමින්, දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන තිරසාර කෘෂිකාර්මික ක්‍රමවේද ව්‍යාප්ත කිරීම, තරුණ පරපුර කෘෂි ව්‍යවසායකත්වයට ආකර්ෂණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් ආදර්ශයක් සපයයි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *