ලෝකෙටම එකයි දෙළුම් බාර්

මෙම අවන්හලට පැමිණෙන කෙනකුට දෙළුම් යුෂ පානය මෙන්ම දෙළුම් පොත්තෙන් හදනා ඖෂධීය තේ පාන, දෙළුම් ජෑම්, දෙළුම් ඉන් හනී, දෙළුම් මල් තේ පාන මෙන්ම දෙළුම්වලින් සාදන රූපලාවණ්‍ය නිෂ්පාදන ද මිල දී ගත හැකිය.

දෙළුම් යනු සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළ දිව්‍ය ඖෂධමය පලතුරකි. දෙළුම් යුෂ මඟින් ඕනෑම රෝගියකුගේ ශරීර ශක්තිය වඩවන අතර නිරෝගී පුද්ගලයන්ගේ පිළිකා අවදානම අඩු කරවයි. ඒ ප්‍රතිඔක්ෂිකාරක බහුල පලතුරු අතර ඉදිරියෙන්ම දෙළුම් සිටිනා බැවිනි. දෙළුම්වලින් පිළිකා සුව වන බවට සමාජයේ මිනිසුන් අතර වැරදි මතයක් ද ඇත. ඇත්තෙන්ම පිළිකා රෝගීන්ට කීමෝ තෙරපි වැනි ප්‍රතිකාරවලදී ආහාර රුචිය අඩු වන අතර ඔවුන් ස්වභාවික දියරමය ආහාරයක් ලෙස දෙළුම් භාවිතයෙන් රුධිර මට්ටම මෙන්ම ශරීරය ශක්තිය වර්ධනය වීමක් සිදුවේ. මේ හේතුවෙන් පිළිකා රෝගීන් අතර මිලෙන් වැඩි දෙළුම් ප්‍රියතම ආහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන.

මේ කියන්නට යන්නේ ලෝකයේ දෙළුම් සඳහාම පමණක් වෙන්වුණු එකම අවන්හලක් ගැනයි. එහි අයිතිකරු අප රටේ තරුණ ව්‍යවසායකයකු වීම මහත් ආඩම්බරයකි. මාතකඩාර දෙළුම් බර් නම් මේ අවන්හල පිහිටා තිබෙන්නේ අපි කවුරුත් දන්නා අපේක්ෂා රෝහල අසලය. එහි අයිතිකරු අසික පින්සර සමරසේකර නම් තරණයෙකි. මේ ඔහු දිරියෙන් ගොඩනැඟූ මාතකඩාර දෙළුම් බාර් සන්නාමය ගැන විස්තරයයි.

දෙළුම් වාරය ලෙස හඳුන්වන්නේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයයි. එම කාලයට දෙළුම් ඇති තරම් තිබුණ ද අවාරයට කඩවල ඒවා ගිනි ගණන්ය. මෙයට පිළියමක් ලෙස කල් තබාගත හැකි දෙළුම් යුෂ නිෂ්පාදනය කරනා මේ තරුණ ව්‍යවසායකයා අවසානයේ නතර වන්නේ දෙළුම් නිෂ්පාදන බොහොමයක අවන්හලකිනි. මෙම අවන්හලෙන් අවාරයට පවා දෙළුම් යුෂ මිල දී ගැනීමට හැකි වීම විශේෂත්වයකි. සියයට සීයක් ස්වභාවික මෙන්ම අවුරුද්දක් වැනි කාලයක් කල් තබාගත හැකි අයුරින් නිෂ්පාදනය කරනා මේ දෙළුම් යුෂ පානය කාර්මික තාක්ෂණික ආයතනයෙන් ද සහතික කර තිබේ.

මෙම අවන්හලට පැමිණෙන කෙනකුට දෙළුම් යුෂ පානය මෙන්ම දෙළුම් පොත්තෙන් හදනා ඖෂධීය තේ පාන, දෙළුම් ජෑම්, දෙළුම් ඉන් හනී, දෙළුම් මල් තේ පාන මෙන්ම දෙළුම්වලින් සාදන රූපලාවණ්‍ය නිෂ්පාදන ද මිල දී ගත හැකිය. ඇත්තෙන්ම අවුරුදු 4 ක් වැනි කෙටි කාලයකදී මෙම තරුණ ව්‍යවසායකයා බොහෝ දුරක් පැමිණ තිබේ. ඔහු බොහෝ පිරිසකගේ ජීවනෝපායට අත දෙන තරුණයෙකි. තම කර්මාන්ත ශාලාවේ විසිදෙනකු පමණ සේවය කරන අතර තිස්සමහාරාමය අවට මෙන්ම බොහෝ ප්‍රදේශවල දෙළුම් වවන්නන්ට ද අසිකගේ මේ දෙළුම් අවන්හලෙන් ලැබෙන්නේ මනා පිටිවහලකි.

මේ ගමන ලෙහෙසි පහසු ගමනක් නොවන බවට අසික කියනා දෙයින් අපට මනාව පැහැදිලිවනු ඇත. ඒ මෙම දෙළුම් වැවීමේ සිට ඒවා වෙළෙඳ පොළට ගෙන ඒම දක්වාම අත්විඳින්නට සිදුවන බොහෝ ගැටලු හේතුවෙනි. ඔවුන් වැඩි වශයෙන්ම මුහුණ දෙන්නේ රිළා – වඳුරු ප්‍රශ්නයටය. එම සතුන්ගෙන් අස්වැන්නට බොහෝ බලපෑම් ඇති කරන බවත් ලංකාවේ දෙළුම් අස්වැන්න අඩු වීමට එය ප්‍රධානම හේතුවක් බව ද අසික පවසන්නේය. තමන් තිස්සමහාරාමය අවට දිළිඳු පවුල්වලට දෙළුම් පැළ ලබා දී අස්වැන්න ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ ද අද වන විට එයට මෙම රිළා – වඳුරු ගැටලුව බලපා ඇති බවට ඔහු පවසන්නේය. තවද මෙවැනි නිෂ්පාදනයක් කිරීමේදී ඒවාට අවශ්‍ය පරීක්ෂණ කටයුතුවලට තිස්සමහාරාමයේ සිට ඔහුට කොළඹට පැමිණීමට ද සිදුවනු ඇත. ඊට වැඩි වියදමක් මෙන්ම කාලයක් ද නාස්ති වන බැවින් මේ ගැටලු දෙකට වත්මන් රජයෙන් පිළියම් බලාපොරොත්තු වන බවට ද ඔහු පවසා සිටින්නේය.

තවද මාතකඩාර දෙළුම් අවන්හලෙන් සිදුවන විශේෂම දෙයක් ඇත. ඒ පරිත්‍යාගශීලින්ගේ ද සහයෝගයෙන් නොමිලේ පිළිකා රෝගීන්ට දෙළුම් යුෂ ලබා දීමය. මෙම අවන්හලේ එක් පසෙක වීදුරුවක මුදල් ගෙවූ රිසිට්පත් අලවා ඇති අතර ඒවායින් තම ක්ලීනික් අංකය පෙන්වා නොමිලේ දෙළුම් යුෂ ලබා ගැනීමට හැකියාවක් ඇත. ඒ සඳහා ද බොහෝ පිරිස් පැමිණෙති. මෙම පරිත්‍යාගශීලින්ගේ මෙන්ම නොමිලේ දෙළුම් යුෂ ලබාගන්නා අයගේ නම් ද මනා විනිවිදභාවයකින් ලේඛනගත කර තැබීමට ද අසික අමතක නොකරන්නේය. මෙසේ නොමිලේ දෙන දෙළුම් යුෂවලට අවන්හල ගාණේ ද නොමිලේ යම් ප්‍රමාණයක් ලබා දෙන්නේ පරිත්‍යාගයක් වශයෙනි.

මෙවැනි ව්‍යවසායකයන් අපට රටට බොහෝ වටින්නේය. අසික නම් ව්‍යවසායකයා මේ ගමන පැමිණ ඇත්තේ ද තනිවමය. එසේ නම් ඔහුට මෙම ව්‍යාපාරය මුළු ලෝකය පුරාම ගෙන යෑමට රජයෙන් ද උදවු ලැබිය යුතුය. එයින් අප රටට විදේශ විනිමය මෙන්ම අප රටේ නම ද ලෝකයට පහසුවෙත් තව තවත් ගෙනයෑ හැකිය.

ගයාන් සංජය

දිනමිණ ඊ  ඇසුරිනි

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *