වී පොහොර සහනාධාර කෝටි 129ක් ගොවි ගිණුම්වලට – ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්

වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් කෝටි 129.2ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කර තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මෙම මුදල් දිස්ත්‍රික්ක 22ක වී ගොවීන් එක්ලක්ෂ නවදහසකට හිමි වූ බව ද ඒ මහතා කියයි.

මෙම පොහොර සහනාධාරයේ වැඩිම ප්‍රතිලාභීන් දැනට අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ලබා දී ඇති මුදල රුපියල් කෝටි 29.1කි. ගොවීන් සංඛ්‍යාව19,900ක් බව ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. වී ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු වෙනුවෙන් ඊයේ (19) දිනයේ ද මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලුම් කළ අතර, එම මුදල දිස්ත්‍රික්ක 22ක ගොවීන් 47,553ක් වෙනුවෙන් ලබාදීමට කටයුතු සැලසුම් කර ඇතැයි ද ඒ මහතා පැවැසුවේය.

‘මෙම පොහොර සහනාධාරය පිළිබඳ ගොවීන් අනිසි බියක් ඇති කරගත යුතු නෑ. ඔවුන්ගේ මහකන්නයේ වගා කටයුතු ආරම්භ වූ වහාම එම පොහොර සහනාධාරය ලබාදීමට අප කටයුතු යොදා තිබෙනවා.

එහි ප්‍රමාදයක් නැහැ. මෙම සහනාධාරය ලබා දීම අප ආරම්භ කළේ ඔක්තෝබර් මස 14 වැනිදා සිටයි. එතැන් පටන් අප මේ වන විට දිස්ත්‍රික්ක 22ක ගොවීන් 109,000කට මෙම පොහොර සහනාධාරය ලබාදී තිබෙනවා.

මුල් අදියරේදී ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 15,000ක මුදලක් මේ යටතේ හිමි වනවා. දෙවන අදියරේදී රුපියල් 10,000ක් ගොවි ගිණුම් වෙත බැර වනවා. කුඹුරේ වී වගාව ආරම්භ වුණාම තමයි මුල් අදියරේදී මුලින්ම අපි මෙම සහනාධාරය ගොවීන්ට ලබා දුන්නේ. නමුත් ගොවීන් අපෙන් ඉල්ලීමක් කළා මෙම මුදල් ඊට ප්‍රථම ලබාදෙන්න කියලා. ඒ අනුව කුඹුරේ ප්‍රථම සී සෑම අවසන් වූ බව ගොවි මහත්වරුන් අපට දැන්වූ වහාම අප මේ මුදල ඔවුන් වෙත ලබා දෙන්නට කටයුතු යොදා තිබෙනවා. පෙලොන්නරුව ප්‍රදේශයේ ගොවීන්ට අප මෙම සහනාධාරය තවම නිකුත් කර නැහැ. එයට හේතුව අදාළ ජලාශවලට ජලය නිකුත් කර ඇත්තේ දවස් කීපයකට පෙර වීම නිසා වගා කටයුතු ආරම්භ නොවීමයි. මේ දිනවල එම වගා කටයුතු ආරම්භ වෙමින් පවතිනවා. මහ කන්නයේ වගාව ආරම්භ කළ බව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් දැනුම් දුන් විගසම අප මෙම පොහොර සහනාධාරය සඳහා වූ මුදල් පොලොන්නරුව ප්‍රදේශයේ ගොවීන්ට නිකුත් කරනවා. මේ පිළිබඳ කෙරෙන බොරු ප්‍රචාරවලට රැවටෙන්නට ඒපා යැයි මා ඉල්ලීමක් කරනවා.’ යැයි ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *