ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මන්ඩලය යටතේ ඇති ජාතික කාබනික පාලන ඒකකය (NOCU) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ එක්සත් රාජධානියේ වෙළඳ හවුල් වැඩසටහන (UKTP) එක්ව පසුගියදා කොළඹ දී එක්දින වැඩමුළුවක් සංවිධානය කළේය. ජාතික කාබනික කෘෂිකාර්මික ක්‍රමවේදයේ නෛතික රාමුව තුළ යෝජිත වෙනස්කම් රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන් සඳහා ඉදිරිපත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය.
රාජ්‍ය හා පුද්ගලික අංශ නියෝජිතයන් 75 දෙනෙකු එකතු වී ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මයට අදාළ නීතිමය රාමුව සංශෝධනය කිරීමේ යෝජනා පිළිබදව මෙම වැඩමුළුවේදී අවධානයට යොමුවිය. මෙම නීති සංශෝධන හරහා ශ්‍රී ලංකාවේ කාබනික නිෂ්පාදන සඳහා ගෝලීය වෙළඳපොල ප්‍රවේශය සහ අපනයන තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමට ඉවහල් වනු ඇත.
මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා,අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ඩී ධර්මසේන මහත්මිය, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනෝමා ප්‍රේමතිලක මහත්මිය ,එක්සත් රාජධානියේ UKTP වැඩසටහනේ උපදේශකයින් ඇතුළු අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික අංශ නියෝජිතයින් සහභාගී විය.
ශ්‍රී ලංකාව තුළ කාබනික නිෂ්පාදනවල විශ්වසනීයත්වය සහතික කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ජාතික කාබනික පාලන ඒ්කකය (NOCU) ක්‍රියාත්මක වේ. මේ වන විට මෙරට සහතික ලත් කාබනික අපනයනකරුවන්/සැකසුම්කරුවන් 400ක් පමණ සිටින අතර කාබනික නිෂ්පාදන නිෂ්පාදකයින් 12,000 කට අධික සංඛ්‍යාවක් සිටී.
වාර්ෂිකව ඩොලර් බිලියන 0.5 කට අධික ආදායමක් උපයන කාබනික කෘෂිකාර්මික අංශය සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ කාබනික නිෂ්පාදන මාලාවට තේ, පොල් ආශ්‍රි නිෂ්පාදන, කුළුබඩු, සාම්ප්‍රදායික සහල්, ශාකසාර නිෂ්පාදන අයත් වේ.
FIBL වාර්තාවේ 2025 පෙබරවාරි මාසයේ ප්‍රකාශයට පත් වු දත්ත අනූව, 2023 වන විට ගෝලීය කාබනික වෙළඳපොල යුරෝ බිලියන 136.4 දක්වා වර්ධනය වී ඇත. මෙය 2000 වසරේදී වාර්තා වූ යුරෝ බිලියන 15.1 තත්ත්වය හා සැසඳූ විට විශාල වර්ධනයක් ලෙස සැලකිය හැක. ජාත්‍යන්තරව ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය සහ චීනය ලොව විශාලතම කාබනික වෙළඳපොල ලෙස හඳුනාගෙන ඇත.
UKTP වැඩසටහන හරහා ශ්‍රි ලංකාවේ ජාතික කාබනික ප්‍රමිතිය (SLS 1324:2018) IFOAM ජාත්‍යන්තර කාබනික ප්‍රමිතිය සහ ඒක්සත් රාජධානියේ (GB) කාබනික නියාමනය සමඟ පෙළගැස්වීම සඳහා ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානය (ITC) විසින් ජාතික කාබනික පාලන ඒකකය (NOCU) වෙත සහාය ලබා දී ඇත. මෙම මුලපිරීම එක්සත් රාජධානිය ඇතුළු ඉහළ වටිනාකමකින් යුත් අපනයන ගමනාන්ත වෙත ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමට ද ඉවහල් වනු ඇත.